Header Ads

"ගෝඨාභය අගමැති කිරීමේ ජනපති මෛත්‍රීගේ සැලසුමක්"

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අගමැති පදවියට පත්කොට, මීළඟ ජනාධිපතිවරණයටත් තරග කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උත්සාහය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට අවශ්‍යව තිබෙන්නේ ඒ සඳහා බව ද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසූ බව බීබීසී පුවත් වෙබ් අඩවියේ සදහන් වේ.

රටේ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබඳව ෆේස්බුක් ඔස්සේ බීබීසී සිංහල සේවය සමග සජීව සාකච්ඡාවකට එක්වෙමින් ඒ බව කියා සිටි බිමල් රත්නායක මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයාගේ "අභ්‍යන්තර දේශපාලන අවශ්‍යතාව" කවරක් දැයි පසුගිය පළාත් පාලන මැතිවරණය සමයේ ඔහු හැසිරුණු අන්දමින් පැහැදිලිව දක්නට ලැබුණු බවය.

"එතුමා ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නෑ. ඒක පැහැදිලියි. ඒ නිසා නැවත ජනාධිපතිවරණයකදී ඔහුට මහින්ද රාජපක්ෂ මහතා ළඟ තියෙන ඡන්ද ටික අවශ්‍යයි. ඒ නිසා ඔහුට ඕනකම තිබුණා මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ වෙනත් පුද්ගලයෙක් සිටිනවා නම් ඔහුගේ සහයෝගයත් තමන්ට ලබාගන්න."

එබැවින් ගෝඨාභය රාජපක්ෂ ද "හවුල් කරගෙන" ජනපතිවරණයට ඉදිරිපත්වීම ජනපති සිරිසේනගේ සැලසුම වී තිබූ බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

කෙසේ වුවත් පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජනපදයේ සිට යළි සිය රට බලා පැමිණි අවස්ථාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අගමැති ධුරය භාරගන්නා ලෙස ආරාධනාවක් කළහොත් එය පිළිගන්නේ දැයි මාධ්‍යවේදීන් විමසූ විට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, "බැහැනේ මම ඇමරිකානු පුරවැසියෙක් ඉතින් මට අගමැතිකම් භාරගන්න බැහැ," යනුවෙනි.

තමන් තවමත් ඇමෙරිකානු පුරවැසියෙකු වන බැවින් දේශපාලනයට පිවිසීමේ සැලසුමක් "තවම නැහැ," බවත් ගෝඨාභය රාජපක්ෂ එහිදී සඳහන් කළේය.

බීබීසී සිංහල සේවය සමග ෆේස්බුක් සංවාදයේදී පසුගිය ඉරිදා සිදු කළ කැබිනට් සංශෝධනය පිළිබඳව අදහස් දක්වමින් බිමල් රත්නායක මන්ත්‍රීවරයා කියා සිටියේ, ගතව ගිය වසර තුනක කාලය තුළ වත්මන් ආණ්ඩුවේ සමස්ත ක්‍රියාදාමය 'කොමඩියක්' පමණක් නොව 'ට්‍රැජඩියක්' (ඛේදවාචකයක්) ද බවය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.