Header Ads

ඇලෝසියස් සහ පාලිසේන රක්ෂිත බන්ධානගාරයට

අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඊයේ උදෑසන අත්අඩංගුවට ගත් ඇලෝසියස් සහ පාලිසේන අද උදෑසන දක්වා ඊයේ රාත්‍රී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව හරහා වංචනික ලෙස රුපියල් අසූ අට කෝටි අනූතුන් ලක්ෂ පනස් අට දහස් පනහක මුදලක් ලබා ගෙන පරිහරණය කළේ යැයි කියන චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල වංචා සහගතව ලබා ගැනීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැකකරුවන් දෙදෙනා ආධාර අනුබල ලබාදී ඇතැයිද මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ.

ඒ අනුව අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන්ට සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී මූල්‍ය වංචාව, මෙම වංචාවට ආධාර අනුබල දීම සහ පොදු දේපළ පනත යටතේ නඩු පැවැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

එසේම හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හට සාපරාධී විශ්වාසය කඩ කිරීම, ශ්‍රී ලංකා මහ බැංකුවේ සංවේදී මූල්‍ය බුද්ධි තොරතුරු බාහිර පුද්ගලයන්ට අනාවරණය කිරීම යන චෝදනාවන් යටතේ නඩු පැවැරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ වන විට සිංගප්පූරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හට බැඳුම්කර ගනුදෙනුවලට අදාළව මෙරටට පැමිණ ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා (2දා) නියෝග කෙරිණි.

එසේම එදින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යන අය මෙම සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම් කරනු ලැබීය.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.