Header Ads

මුස්ලිම් වෙළෙඳසල්වලට ප්‍රහාර: අම්පාරේ ආරක්ෂාව තර කෙරේ

අම්පාර නගරයේ මුස්ලිම් දේවස්ථානයකට හා වෙළඳසැල් කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට වගකිවයුතු පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පිණිස පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇති බව පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

අම්පාර නගරයේ ආපන ශාලාවක "වඳ පෙති" සමග ආහාර ලබාදෙන බවට පැතිර ගිය ප්‍රචාරයක් සමග හටගත් නොසන්සුන්තාවය අතරවාරයේ සඳුදා (පෙබරවාරි 26) රාත්‍රියේ කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබේ.

අදාළ ආපන ශාලාව "වඳ පෙති" දමා අහාර ලබාදෙන බවට එල්ල කරන චෝදනාව ගැන ද වෙනම පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි.

මෙම ප්‍රහාරයෙන් වාහන කිහිපයකට ද අලාභ හානි සිදු වී තිබේ.

ප්‍රහාරවලින් අනතුරුව අම්පාර නගරයේ පොලිස් ආරක්ෂාව ද තර කොට තිබේ.

මෙම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කළ යුතු යයි ප්‍රදේශයේ දේශපාලකයන්, ආගමික නායකයන් හා ආරක්ෂක අංශ අතර අඟහරුවාදා (පෙබරවාරි 27) දහවල් අම්පාර දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී එකඟ වී තිබේ.

ප්‍රදේශයේ සාමය ආරක්ෂාවන ආකාරයට කටයුතු කරන ලෙස ආරක්ෂක අංශ එහිදී සියලු පාර්ශව වලින් ඉල්ලා සිට තිබේ.

අඟහරුවාදා උදෑසන පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මෙම පිළිබඳව අවධානයට ලක් වී තිබේ. මෙම "සංවිධානාත්මක ප්‍රහාරයන්" ගැන අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම කැබිනට් මණ්ඩලයේදී අදහස් දැක්වූ බව අමාත්‍ය මනෝ ගනේෂන් පැවසීය.

අම්පාර ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍ය දයා ගමගේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ "රට අස්ථාවර කිරීමේ අරමුණින් ඇතැම් පිරිස් සුළු සිද්ධීන් කිහිපයක් ඇතිකර තිබෙන" බවය.

"රජය අපකීර්තියට පත්කිරීමේ අරමුණින් සහ සාමය, සංහිඳියාව කඩා බිඳ දැමීම මුල්කරගෙන ඇතිවූ මෙම තත්වය සහ කුමන්ත්‍රණකාරීන්ගේ විරෝධය මැඩපැවැත්වීමට වහා පියවර ගෙන තිබේ," යනුවෙන් ද අමාත්‍ය දයා ගමගේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

BBC

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.