Header Ads

පෝරකයට සිනාසෙමින් දැනුමෙන් පොහොසත් වන ශාස්ත්‍රපති සිරකරුවා

අධිකරණයේ විදුලි පහන් නිවා දැමිණි. තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

'යුෂ්මතාට විරුද්ධව මෙම අධිකරණය විසින් අද දින දඬුවම් පමුණුවා ප්‍රකාශයට පත් කරනු ලබන දණ්ඩනයේ වග නම් යුෂ්මතාව මෙතැන් පටන් කොළඹ වැලිකඩ බන්ධනාගාරය තෙක් ගෙන ගොස් එකී බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළතදී ශ්‍රී ලංකා ජන රජයේ ජනාධිපතිතුමා විසින් නියම කරනු ලබන යම් දිනකදී හා වේලාවකදී යුෂ්මතාගේ ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තබන වගයි.'

තීන්දුව පැහැදිලියි. එය මරණ දඬුවමකි. මරණ දඬුවම ලත් චූදිතයා ඉන්දික බමුණුසිංහය. ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ හිටපු උප පොලිස් පරීක්‍ෂකවරයෙකි. බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නමැති කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට අනුබල දීම ඔහුට එරෙහිව නඟා තිබූ චෝදනාවය.

අනපේක්‍ෂිත අවස්ථාවක ලැබුණු නඩු තීන්දුවෙන් බමුණුසිංහට ඇති කළේ කම්පනයකි. විත්ති කූඩුවෙන් බිමට බැසීමට ඔහුට දෙපා වාරු නොතිබිණි. ඒ තරම්ම ඔහුගේ සිත නොසන්සුන්ය. හදගැස්මේ වේගය දෙගුණ තෙගුණ වන අයුරු ඔහුට දැනිණි. අධිකරණ ශාලාව දෙසින් ඇසෙන්නේ ඉකිබිඳින හඬකි. ඔහුගේ මව, පියා, බිරිය එකම සහෝදරයා එසේ හඬා වැලපෙන අයුරු ඔහු පෙනිණි. ඔවුන් අස්වසාලීමට ඥාතීන් ගන්නා උත්සාහය ඔහුට මහත් වේදනාවක් ගෙන දුනි.

සිය ඥාතීන් හඬා වැලපෙන අයුරු බලා සිටීමට ඔහුට ලැබුණේ තප්පර කිහිපයකි. ඔහුගේ දෑතට මාංචු දැමිණි. බන්ධනාගාර නිලධාරීන් දැන් සූදානම් වන්නේ ඔහුව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යෑමටය.

බන්ධනාගාර බස් රථය අධිකරණ භූමියෙන් පිටතට හැරවිණි. සිය ප්‍රිය බිරිය තමා දෙස බලා දෙනෙතින් කඳුළු පිසදමන අයුරු බමුණුසිංහට බස් රථයේ දැල් අතරින් පෙනිණි.

බන්ධනාගාර බස් රථය වැලිකඩ බන්ධනාගාරය තුළ නතර කෙරිණි. බමුණුසිංහ සම්බන්ධ සියලු ලියකියවිලි කටයුතු සිදු කෙරිණි. දැන් සිදු වන්නේ මරණීය දඬුවම ලත් බමුණුසිංහ මරණ දඬුවමට ලක් වූවන් රඳවා තබන වාට්ටුව වෙත රැගෙන යෑමය. එයද සිදු කෙරිණි. අලුතෙන් සිර දඬුවම් ලැබූවන් සිරගෙට එන විට ඔහුගෙන් වගතුග ඇසීම පැරැණි සිරකරුවන්ගේ සිරිතය. ''ආ... යාළුවා මොකද මේ පැත්තේ මොකක්ද කරපු වරද? වරද මොකක් වුණත් උඹ දැන් අපේ ගොඩේ එකෙක්නේ හිත හදාගෙන හිටපන් මේකෙම තමයි ඉතින් අපිට මැරෙන්න වෙන්නේ'' බන්ධනාගාර ඛ්.3 වාට්ටුව වෙත ඇතුළත් කෙරුණු බමුණුසිංහට එහි රඳවා සිටින පැරැණි සිරකරුවන්ගෙන් ලැබුණේ එවැනි ප්‍රතිචාරයකි.

බමුණුසිංහ සිරගෙදරට පැමිණ මාසයක් ගතව තිබිණි. එසේ ගෙවී යන එක් දිනක් ඔහුට දැනුණේ වසරක් ගෙවෙන්නාක් මෙනි. ඔහුට කුසගින්නක් නොදැනෙයි. නින්ද නොඑයි. සිතට දැනුණේ වේදනාවම පමණකි.

තවදුරටත් මෙසේ සිටීමෙන් මා දුර්වල පුද්ගලයකු වනු ඇත. කල්පනා කිරීම තුළින් මට සිදුවන සෙතක් නැත. කෙසේ හෝ සිත හදාගෙන මා මේ සිරගෙදරට හුරු විය යුතුව ඇත. බමුණුසිංහ සිතන්නට විය.

වෙලාව මැදියම් රැය ගතව තිබිණි. තමන් රඳවා සිටින කාමරයේ සිටින සගයන් දෙදෙනා සුවබර නින්දකය. ඔවුන්ට සිරගෙදර හුරු පුරුදුය. ඔවුන් ඉතා සැහැල්ලුවෙන් නිදා සිටින ආකාරය දැකීමෙන් බමුණුසිංහට එසේ සිතිණි.

මේ සිතිවිලිත් සමඟම බමුණුසිංහගේ නෙත් දෙකද පියවුණේ ඔහුටත් නොදැනීමය. ඔහුට ඒ නිදි සුවය අත්විඳින්න ලැබුණේ ඉතා කෙටි කාලයකි. කවුරුන් හෝ තමාට කතා කරනවා යැයි ඔහුට ඇසිණි. ඔහු වහා අවදිව වටපිට බැලූ නමුත් දකින්නට ලැබුණේ සිය කාමරයේ සුවබර නින්දක පසුවන සගයන් දෙදෙනා පමණි.

තමා මේ දැක තිබෙන්නේ සිහිනයක් බව බමුණුසිංහට වැටහිණි. සිහිනයකින් වුවත් කතා කළ පුද්ගලයා තමාට දුන්නේ සිත ධෛර්යවත් කරන අවවාදයක් බව බමුණුසිංහට සිතිණි.

''ඔව් ඒ අවවාදය මගේ සිතට හරි වැදගත්. මම මරණීය දණ්ඩනයට ලක්වූ පුද්ගලයෙක් තමා ඒත් මැරි මැරී උපදිනවාට වඩා සිත එක අරමුණක තබා ගැනීම තමයි වටින්නේ මම සැලෙන්නේ නැහැ. එන සෑම අභියෝගයකටම මුහුණ දෙනවා.''

බමුණුසිංහ එසේ සිතන්නට වූයේ පසුගිය දින කිහිපය තුළ ඔහුගේ සිතේ කැකෑරෙමින් තිබූ දුක් වේදනා සියල්ල අමතක කරමිනි.

උදා වූයේ අලුත් දිනයකි. බමුණුසිංහට අවශ්‍ය වූයේ වැලිකඩ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක (වත්මන් බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන) මහතා හමුවීමටය. ඔහු ඒ අවස්ථාව උදා කර ගන්නේ වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න හා විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙනි.

තමුන්ට තිබෙන ප්‍රශ්නය මොකක්ද ඒකනායක මහතා බමුණුසිංහ වෙතට ඒ පැනය යොමු කළේ ඉතා කරුණාවන්ත ස්වරූපයෙනි.

සර් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරන්න ලියාපදිංචි වෙලා ඉන්න අතුරතුරදී තමයි මට මේ දඬුවම ලැබුණේ. සර්ට හැකියාවක් තියෙනවා නම් මට ඒ උපාධිය හදාරන්න අවස්ථාව සලසා දෙන්න සර්. සර්ට පින් සිදු වෙනවා. බමුණුසිංහ සිය සිතේ තද කරගෙන තිබූ ගැටලුව ඒකනායක මහතාට දැන්වූයේ ඒ අයුරිනි.

"ඒක හොඳ අදහසක්. අපි මේ ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා වෙත යොමු කරලා බලමු එතුමාත් මේ වාගේ උත්සාහවන්ත පුද්ගලයන්ට කැමැතියි." ඒකනායක මහතා බමුණුසිංහට ඒ බව දන්වා සිටියේ බමුණුසිංහගේ සිතට කිසියම් සහනයක්, බලාපොරොත්තුවක් ඇති කරවමිනි.

"චන්දන මේ පුද්ගලයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් මගේ කිසිම අකැමැත්තක් නැහැ. ඔහු මරණීය දඬුවමට ලක්වුණු අයෙක් නිසා ඔය කටයුත්තේදී විවිධ ගැටලු මතුවෙන්න ඉඩකඩ තියෙනවා. බන්ධනාගාර නීතිවලට යටත්ව ඒ කටයුත්ත කරන්න හැකි නම් ඒ අවස්ථාව ඔහුට ලබා දෙන්න." කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ඒකනායක මහතාට සිය උපදෙස් ලබා දුන්නේ ඒ ආකාරයෙනි.

බමුණුසිංහ මේ අවස්ථාව මම මැදිහත් වෙලා ඔබට අරගෙන දෙන්නම් අවශ්‍ය සහායත් දෙන්නම්. බන්ධනාගාර ඉතිහාසයේ කිසිම දවසක සිරගතව සිටි සිරකරුවෙක් සිරගතව සිටින අතුරතුරදී විභාග ලියලා උපාධි අරගෙන නැහැ. ඔබ කෙසේ හෝ ඒ ජයග්‍රහණය ලබා ගත්තොත් ඔබ මේ දෙපාර්තමේන්තුවේ ඉතිහාසගත වන පුද්ගලයෙක් වෙනවා. ඒක අපේ දෙපාර්තමේන්තුවටත් ලොකු ආඩම්බරයක් ගෙන දෙනවා. ඒකනායක මහතා බමුණුසිංහට එසේ අවවාද ලබා දුන්නේ ඔහුගේ කාකි නිල ඇඳුම යට සැඟව තිබූ මනුස්සකම එළියට දමමිනි.

රාජ්‍ය ආයතනයක නිලධාරිනියක් වන ප්‍රිය බිරිය බමුණුසිංහ හමුවීමට පැමිණෙන්නේ ඔය අතරතුරය. 'ඔයා වෙනදාට වඩා අද සතුටින් ඉන්නවා ඇයි නිදහසක්වත් ලැබෙනවාද?' ඔහු සිය බිරියට සියලු තොරතුරු දන්වා සිටියේ ඉන් අනතුරුවය.

සිය ස්වාමිපුරුෂයාට ලැබී තිබෙන අවස්ථාව පිළිබඳව ඇයට තිබුණේ සතුටකි. ''ඔයා කොහොමද මේක කරන්නේ. කෝ ඔයාට අවශ්‍ය පොත්පත්? කෝ උපදේශකයෝ? සිය බිරියගෙන් බමුණුසිංහට ලැබුණේ ප්‍රශ්න වැලකි.

ඔයා කියන කතාව ඇත්තක්. මම මේ ගැන අධිකාරිතුමාගෙන් උපදෙස් ලබාගෙන ඔයාට කියන්නම් බමුණුසිංහ ඇයට ලබාදුන්නේ එවැනි පිළිතුරකි.

"බමුණුසිංහ, බන්ධනාගාර නීතිරීති අනුව ඔබව විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි කරවන්න අපට හැකියාවක් නැහැ. හොඳම විසඳුම තමයි එම දේශන ඔබේ ඥාතියකු මඟින් පටිගත කරගෙන ගෙන්වා ගැනීම. ඒ වගේ වැඩපිළිවෙළකට සහාය දෙන්න අපට හැකියාව තිබෙනවා" බමුණුසිංහගේ පැනයට අධිකාරි ඒකනායක මහතාගෙන් ලැබුණේ එවන් සතුටුදායක පිළිතුරකි.

බමුණුසිංහගේ උපාධියට අවශ්‍ය දේශන ඇතුළත් පටිගත කිරීම් ඔහු අතට පත් කෙරුණේ ඒ ආකාරයටය. ඔහුට ඒ සඳහා සහාය ලබා දුන්නේ ඔහුගේ ප්‍රිය බිරියය. ඇය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශනවලට සහභාගි වී ඒවා පටිගත කරවාගෙන පැමිණ බමුණුසිංහට ලබාදී එසේ සහාය ලබාදී තිබිණි.

දහසකුත් සිත් වේදනාවන් විඳ ගනිමින් ඉන්දික බමුණුසිංහ 2017 ජනවාරි මස 5 වැනිදා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී කලා උපාධිය (ඕඒ) ලබා ගැනීමට සමත් වූයේ එවන් පසුබිමක් තුළය. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කීර්තියක් අත්කර දෙමින් ඔහු එම හැකියාව පෙන්වූයේ මෙරට බන්ධනාගාරයක් තුළ සිරගතව අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් මෙරට පළමු සිරකරුවා බවට පත් වෙමිනි.

බමුණුසිංහ එතැනින් නොනැවතිණි. ඔහුගේ ඊළඟ ඉලක්කය වූයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමය. ඔහු එම විභාගයට අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල යෙදුණේ පෙර පරිද්දෙනි. එවැනි පසුබිමක් තුළ එම විභාගයටද මුහුණ දුන් බමුණුසිංහ එම විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) පසුගියදා ඉතා විශිෂ්ට ආකාරයෙන් සමත් වූයේ ලෝක වාර්තාවක්ද තබමිනි. ඒ එවන් උපාධියක් ලබා ගත් ලෝකයේ බන්ධනාගාරවල සිටින පස්වැනි සිරකරුවා බවට පත්වෙමිනි.

කටුක අමිහිරි අත්දැකීම් පිරි බන්ධනාගාරය තුළ සිට අධ්‍යාපන කටයුතු කරමින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (ඕඒ) හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යා ශාස්ත්‍රපති පශ්චාත් උපාධිය (ර්ඒ) ලබාගත් මෙම ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී සිරකරුවා හමුවීමේ අවස්ථාවක් පසුගියදා මට උදාවිණි. ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධනසිංහ මහතා ලබාදුන් විශේෂ අවසරයක් මතය. ඒ අවස්ථාවේදී ඔහු පැවැසුවේ මෙවන් අදහසකි.

'මේ දඬුවම ලැබුණාට පස්සෙ මගේ ජීවිතය කඩා වැටුණා වගේ අදහසක් මට දැනුණා. දැඩි වේදනාවෙන් හා කලකිරීමෙන් සිටින විට තමයි වැලිකඩ හිටපු අධිකාරි චන්දන ඒකනායක මහතා මට අවශ්‍ය සහාය ලබා දුන්නේ. මම රඳවා සිටි කාමරයේ තව දෙන්නෙක් හිටියා. ඒ දෙන්නා ඉන් ඉවත් කරලා මට තනියෙන් අධ්‍යාපන කටයුතු කරන්න අධිකාරිතුමා උදවු කළා. කාමරයට අවශ්‍ය විදුලි පහනක් ලබා දුන්නා. මම ශාස්ත්‍රවේදී උපාධියට පාඩම් කළේ බිම වාඩිවෙලා. ඒ නිසා මගේ කකුල්වල දියපට්ටා පවා දැම්මා. පසුව ඒ බව දැනගත් අධිකාරිතුමා මට කුඩා මේසයක්, පුටුවක් ලබාදීලා අධ්‍යාපන කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. අධිකාරිතුමා පමණක් නෙවෙයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් තුෂාර උපුල්දෙණිය, වැලිකඩ ප්‍රධාන ජේලර් මොහාන් කරුණාරත්න, විනය අංශය භාර ජේලර් ප්‍රේමවංශ යන නිලධාරීනුත් මට සුවිශේෂී සහායක් ලබා දුන්නා. බන්ධනාගාරයෙන් එසේ පහසුකම් ලැබෙන විට ඔහුගේ ප්‍රිය බිරිය ලබාදුන් අගනා සහාය පිළිබඳ ඔහු කතා කළේ දෑස්වල කඳුළු පුරවමිනි. ජයවර්ධනපුර හා කැලණිය විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් බොහෝ පිරිසක් විවිධාකාරයෙන් ඔහුට සහාය ලබාදී තිබෙනවා. ඒ පිළිබ¼දවද බමුණුසිංහගේ සිතේ ඇත්තේ මහත් ගෞරවයකි.

බමුණුසිංහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලබාදුන් ඉමහත් කීර්තිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා තුළ ඇත්තේ ඉතා ආඩම්බරයකි. 'බන්ධනාගාරය කියන්නේ වධකාගාරයක් කියලයි සමහරු සිතාගෙන ඉන්නේ. ඒත් ඊට වඩා එහා ගිය මනුෂ්‍යත්වයක් බන්ධනාගාරය තුළ තිබෙනවා. අපි හැම සිරකරුවකුටව සලකන්නේ එක හා සමානවයි. බමුණුසිංහට විතරක් නෙවෙයි තම දක්ෂතා පෙන්වන්න ඉදිරිපත් වෙන ඕනෑම සිරකරුවකුට අපේ උපරිම සහාය ලබාදෙන්න අපි කටයුතු කරනවා. කොමසාරිස් ජනරාල්වරයා ඒ බව පවසා සිටියේ සෙසු සිරකරුවන්ටද ධෛර්යයන් අත්කර දෙමිනි.

ඉන්දික බමුණුසිංහගෙන් තොරතුරු සටහන් කරගත් මා ඔහුගෙන් සමුගැනීමට පෙර පැවැසූ කරුණක් මෙහි සඳහන් කරමි. 'මට හිමි වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මම අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ලබන සැප්තැම්බර් මාසේ 25 දින ශේ‍ර්ෂ්ඨාධිකරණයේදී ඒ නඩුව විභාගයට ගන්නවා. මම වැරැද්දක් කරලා නැහැ. මට නිදහස ලැබෙන බව මම දන්නවා.

මම දැන් සූදානම් වෙන්නේ දර්ශනපති උපාධිය ලියන්න. ඒකත් මම සමත් වෙනවා. මට නිදහස ලැබුණාම මම නැවත පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවට යනවා. බමුණුසිංහගේ ඊළඟ ඉලක්කය දර්ශනපති විභාගය සමත් වීමය. 

කුමුදු උපුල් ශාන්ත
උපුටා ගැනීම -mawbima.lk 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.