Header Ads

කෝටිපති ව්‍යාපාරික පියාගෙන් කප්ප්මක් ගන්න සැරසුනු දියණිය හා පෙම්වතා අත්අඩංගුවට

කෝටිපති ව්‍යාපාරික පියාගෙන් කෝටියක කප්පම් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ 16 හැවිරිදි දියණියක සහ ඇගේ පෙම්වතා මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක සහ ජාත්‍යන්තර ගුවන් සමාගමක ගුවන් කාර්ය මණ්ඩලයේ සේවය කරන මීගමුව කාමච්චෝඩ් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.

කලින් සැලසුම් කළ පරිදි මෙම සිසුවිය සහ තරුණයා 28දා දහවල් මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලකට ගොස් නැවතී ඇත. එහි සිට සිසුවියගේ දුරකථනයෙන් ඇගේ මවට ඇමතුමක් ලබාගෙන තමා පැහැරගෙනගොස් ඇති බවත් නිදහස් කිරීමට නම් කෝටියක කප්පම් මුදලක් ඉල්ලන බවත් දැනුම්දී ඇත. මේ අනුව මවුපියන් මේ පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.

පසුව කෝටියක කප්පම් මුදල දසලක්ෂය දක්වා අඩු කිරීමට කප්පම්කරු එකඟ වී ඇති බවත් ඇය මවට පවසා ඇත. මේ අතර පැහැරගත්තා යැයි පැවසුණු සිසුවිය බටපත්තල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට සිසුවිය රැගෙනවිත් විමර්ශන ආරම්භ කර ඇත.

ඉකුත් 28දා උදෑසන 10ට පමණ පැමිණි කාන්තාවක් ඇතුළු හතර දෙනෙක් නිවෙසක ලිපිනයක් විමසූ බවත් ඒ ගැන කීමට නිවෙසින් පිටතට පැමිණි තමන්ට යම් දියරයක් මුහුණට අල්ලා සිහි නැති කර වෑන් රථයක දමාගෙන පලා ගිය බවත් ප්‍රශ්න කිරීම්වලදී සිසුවිය ප්‍රකාශ කර ඇත.

ඊට පසුදින එනම් 29දා දහවල් තමන් කටාන ප්‍රදේශයේ මහමඟ දමා ගිය බවත් පාරේ පැමිණි ලොරියකට අත ඔසවා නතර කර තමන්ව පොලිසියට රැගෙන යන ලෙස ඉල්ලා සිටි බවද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. 

මේ සියලු තොරතුරු පිළිබඳ අධ්‍යනයකින් අනතුරුව මෙම පැහැර ගෙන යෑම පිළිබඳ පරීක්ෂණය සඳහා මීගමුව කොට්ඨාසයේ අපරාධ විමර්ශන අංශයද සම්බන්ධ කරගැනීමට මීගමුව ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති මහතා තීරණය කර ඇත.

සිසුවියගෙන් යළි ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති සම්පත් දිසානායක මහතා සිසුවියගේ මවු භාෂාව වන දෙමළ බසින් එම ප්‍රශ්න කිරීම පොලිස් සැරයන් ඒ.එල්.එම්. රාවුෆ් වෙත භාරදී ඇත. සිසුවියගේ දුරකථන දත්ත
විශ්ලේෂණයක් සිදුකර ඇති කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඇය සමඟ වැඩිපුරම දුරකථන සංවාදවල යෙදී ඇති පුද්ගලයකු පිළිබඳව සිසුවියගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය අනවශ්‍ය ලෙස කලබල වී ඇත.

මේ අනුව දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු සහ සිසුවිය එකතුවී පියාගෙන් මුදල් ලබා ගැනීම සඳහා මේ පැහැරගෙන යෑමේ රඟපෑම සිදුකර ඇති බවත් සැකකරු විසින් ඔහුගේ පියාට අයත් යතුරුපැදියෙන් කටාන බටපත්තල ප්‍රදේශයට ඇය රැගෙන ගොස් දමා වෑන් රථයකින් පැහැරගෙන ගිය බව පොලිසියට ප්‍රකාශ කරන ලෙස උපදෙස් දී ඇති බවත් පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ සිසුවිය මීගමුව මූලස්ථාන පොලිසිය වෙත භාරදී ඇත. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.