Header Ads

ප්‍රවීන ගායිකා ඝාතනය පෙර සැලසුමක් -සැමියා කතුර මුවහත් කරගෙනම් ඉදලා

ජනප්‍රිය ගායන ශිල්පිනි ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ සැමියා ඊයේ (09දා) පානදුර _ වලානේදී අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය කියයි.

ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනිය 51 හැවිරිදි දෙදරු මවකි.

සැකකරු ඝාතනය සඳහා යොදා ගත් කතුරක කොටසක් නිවෙසෙහි කාමරයක ඇඳ අසල දමා තිබියදී පොලිසිය මඟින් සොයා ගෙන ඇත.

පෙරේදා (08දා) රාත්‍රි අටට පමණ ගායන ශිල්පිනිය හා සැකකාර සැමියා අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර ඉන් අනතුරුව සැකකරු මෙම කතුරු තුඩ උපයෝගි කරගෙන ඇයගේ ශරීරයේ අට පොළකට පමණ ඇන මෙම ඝාතනය සිදු කර තිබූ බව පොලිසිය කියයි.

එම සිද්ධිය වන අවස්ථාවේ ගායන ශිල්පිනිය, ඇයගේ සැමියා, ලේලිය හා මාස තුනක් පමණ වයසැති මිනිබිරිය නිවෙසේ සිට ඇති අතර ඇයගේ පුතා අසල පිහිටි වෙළෙඳසලකට ගොස් සිට ඇතැයි පොලිසිය කියයි.

මිනිබිරිය මිත්තණිය වන ඝාතනයට ලක් වූ ගායන ශිල්පිනිය සමඟ කාමරයේ ඇඳ මත වාඩි වී සිට ඇති අතර ලේලිය රූපවාහිනිය නරඹමින් සිට ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිය මාමාණ්ඩිය වන සැකකරු කාමරය තුළදී නැන්දණියට පහර දෙනවිට ඇය කෑ ගසන හඬ ලේලියට ඇසී ඇත. ඒ සමඟම රූපවාහිනිය නරඹමින් සිටි ලේලිය වෙළෙඳසලට ගිය සිය සැමියාට දුරකථන ඇමතුමක් ලබාදී අනතුරුව අසල්වැසි නිවෙසක් වෙත දිවගොස් සිද්ධිය දැනුම් දී තිබූ බව පොලිසිය කියයි.

ඒ වනවිට වෙළෙඳසලට ගොස් සිටි ගායන ශිල්පිනියගේ පුතා වහා නිවෙසට පැමිණෙද්දී සිය මව ඇඳ මත ලේ විලක් මැද වැටී සිටින අයුරු දැක අසල්වාසීන්ගේ සහායෙන් රෝහල් ගත කිරීම සඳහා රැගෙන යද්දී අතරමඟදී මියගොස් ඇතැයි පොලිසිය කියයි.

සිද්ධියත් සමඟ සැකකරු පලාගොස් තිබූ බව පවසන පොලිසිය ලැබුණු තොරතුරක් අනුව ඔහු පසුව අත්අඩංගුවට ගත් බව කීය.

සැකකරු සිය බිරිය වූ ගායන ශිල්පිනිය ඝාතනය කිරීම සඳහා කල් ඇතිවම සැලසුම් කර ඇති බව ඝාතනය සඳහා යොදා ගත් කතුරු තුඩෙන් පැහැදිලි වන බවත් එහි දෙපැත්ත කැපෙන ලෙස මුවහත් තබා තිබූ බවත් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

අපරාධය සිදු වූ ස්ථානයට පැමිණි පානදුර අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් සුනේත්‍රා ප්‍රනාන්දු මහත්මිය පානදුර මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙසටත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් පොලිසියට නියෝග කළේය. ගායන ශිල්පිනිය හා සැකකාර සැමියා අතර කාලයක සිට නිරතුරුවම ආරවුල් හට ගෙන තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි රැසක් පොලිසිය වෙත ලැබී ඇතැයිද පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරුට අධිකරණය මඟින් නිවෙසට යෑම කලකට ඉහත තහනම් කර තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

ගායන ශිල්පිනිය ඇයගේ පුතු හා ලේලිය සමඟ මෙම නිවෙසට පැමිණ තිබුණේ මීට මාසයකට පමණ ඉහතදී බව පොලිසිය කියයි.

මව්බිම පුවත්පත ඇසුරෙනි

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.