Header Ads

චීනයේ කදු ගැටයක ඇති, එල්ලෙන මිනී පෙට්ටිවල අභිරසහ කුමක්ද ?

දකුණු චීනයේ යෑංසිකියෑං ගංඟාව අසබඩ වූ කලාපය ස්‌වභාව සුන්දරත්වයෙන් බෙහෙවින්ම අලංකෘත ලෙසින් පිහිටි කලාපයකි. 

කඳුවැටි, ගංඟාවන් යාබද කැලෑවන් ගෙන් සමන්විත මෙම ප්‍රදේශයේ එල්ලෙන මිනී පෙට්‌ටිත් ඇතැයි වූ සඳහනක්‌ වෙතොත් ඇත්තටම මුලින් කී සුන්දර වටපිටාව ඔබෙන් දුරස්‌ වෙනු ඇත. 

එහෙත් පවතින සත්‍යය එයයි. වසර 3000 ක්‌ පමණ වූ අතීතයකට උරුමකම් ඇති මෙම මිනීපෙට්‌ටි කා විසින් එල්ලන ලද්දක්‌ද සහ ඒ අන්දමින් එල්ලා තැබීමට හේතු තවමත් අධ්‍යයන මට්‌ටමේ පවතින අතර මෙම සොහොන් පිළිබඳව වූ විවිධ උපකල්පනයන් තිබේ. මෙම කලාපයේ මිනීපෙට්‌ටි අතර

* ගුහාවල තැන්පත් කරන ලද

* අට්‌ටාල මත තබන ලද

* පර්වත කුහර මත සිරස්‌ව තබන ලද

මළ සිරුරු ලෙසින් කොටස්‌ කීපයකි.

එල්ලෙන සොහොන් කාගේ නිර්මාණයක්‌ද...?

මේ අන්දමට එල්ලෙන මිනීපෙට්‌ටි වැඩි ප්‍රමාණයක්‌ දකින්න ලැබෙන්නේ "ෆුජියැන්" (Fujian) ප්‍රාන්තයේ වන අතර "හුබෙයි" ,"ෂියැන්" සහ "යුනෑන්" ප්‍රදේශවලත් මෙම එල්ලෙන සොහොන් දක්‌නට ලැබේ. 

මේ ගැන ඉතිහාසය සොයන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙම කලාපයේ මුලින්ම ජීවත්වුන කැරලිකාර "බෝ" වැසියන්ගේ අවමංගල්‍ය චාරිත්‍රයන් අනුව මේ අන්දමින් මියගිය පුද්ගලයන්ගේ මිනී පෙට්‌ටි එල්ලා තබන්නට ඇති බවයි. 

එයින් අනතුරුව මෙම ප්‍රදේශය "මින්ග්" (Ming) රාජවංශයට අයත් වීමත් සමග අවමංගල්‍ය චාරිත්‍ර වෙනස්‌ වුණත් මෙම එල්ලන ලද මිනී පෙට්‌ටි එම ස්‌ථානවලින් ඉවත් වූයේ නැති බවටත් අනුමාන කෙරේ. 

2015 වසරේ People's Daily පුවත්පත මගින් හෙළිදරව් කළ අන්දමට එම පෙට්‌ටියක්‌ එල්ලා තිබෙන්නේ මීටර් 100 ක පමණ උසින් වන අතර මෙම ප්‍රදේශයෙන් පමණක්‌ මිනී පෙට්‌ටි 131 ක්‌ හඳුනාගෙන තිබේ. 

නිරිතදිග චීනයේ ගයිෂු ප්‍රදේශයේ හුණුතල්වලින් නිර්මාණය වුණ පර්වතයක මීටර් 30 ක පමණ උසින් එල්ලෙන මිනී පෙට්‌ටි දැක ගත හැකියි.

පුරාවිද්‍යාව පිළිබඳ ගුන්ෂොයි ආයතනයේ පර්යේෂක "ලී ෆෙයි" සඳහන් කරන්නේ ගුහාවල පිහිටි මිනී පෙට්‌ටි මගින් "යෝ" සහ "මියෝ" පාලකයන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර හෙවත් භූමදාන සිරිත් ප්‍රදර්ශනය වන අතර එල්ලෙන මිනී පෙට්‌ටි මගින් මින් සහ "ටෑන්ග්" රජවංශයේ සංස්‌කෘතික ලක්‌ෂණ පෙන්නුම් කරන බවයි.

මියගිය අය එල්ලුවේ ඇයි...?

ආසියානු සංස්‌කෘතිය තුළ මියගිය පුද්ගලයන්ගේ මතු ආත්මයන් ජීවත්ව සිටින ඔවුන්ගේ ඥාතීන් සමග සමීප සම්බන්ධතාවයන් දක්‌වන බවට පවතින උපකල්පන නිසා පුද්ගලයන් මියගියත් ඔවුන්ගේ මතකයන් ජීවත්ව සිටින පිරිස්‌ සමග දැඩි සේ සමීපව පවත්වා ගැනීම සිදු වේ. 

ඒ නිසාම මියගිය අයගේ සිරුරු පෙට්‌ටියක තබා සිහිවටන ලෙසින් එල්ලා තබන්නට ඇතැයිද තවත් අදහසක්‌ ගොඩ නැගී ඇත.

යුනෑන් ප්‍රාන්ත කෞතුකාගාරයේ සංරක්‌ෂක "ගුවෝ- ජින්" සඳහන් කරන්නේ "බෝ" ගෝත්‍රිකයන්ගේ විශ්වාසයන්ට අනුව කන්ද ස්‌වර්ගයට යැමට පහසු කරන පාලමක්‌ ලෙසින් සලකන ලද නිසා මියගිය අයගේ සිරුර පෙට්‌ටියක බහා කන්දක එල්ලා තැබීම ස්‌වර්ගයට යන ගමන ඉක්‌මන් කිරීමක්‌ ලෙසින්ද පිළිගැනීමක්‌ පැවැතුණි.

මියගිය සිරුරු පොළොවේ මිහිදන් කිරීමෙන් ඉතාම ඉක්‌මනින් දිරාපත් වන බැවින් මියගිය අයගේ සිරුරු මෙසේ එල්ලා තබන විට සතුන්ගෙන් කිසිම හිරිහැරයක්‌ නොවන අතර සුළඟෙන්ම වියලීම නිසා සිරුරේ කොටස්‌ කුණු වීමෙන් වෙන් වීමත් ප්‍රමාද කරන බවයි. 

මෙම මියගිය සිරුරු තැන්පත් කිරීම වෙනුවෙන් වූ පෙට්‌ටි නිෂ්පාදනයට යොදා ගෙන ඇත්තේත් දිරාපත්වීම ප්‍රමාද කරන හැකියාව ඇති ශාක වර්ග බැව් "සියැන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය "ලින් ෂියෑන් " සඳහන් කරයි.

 ඔවුන් විසින් 1979 වසරේ ඩැනින් ගංඟාව අසල වූ පර්වත ගැටයකින් සොයා ගත් මිනී පෙට්‌ටිය අඩි 7 ක්‌ දිගින් යුක්‌ත විය. 

එම පෙට්‌ටිය සකස්‌ කර තිබුණේ Nanmu ශාක විශේෂයෙන්ය. මීටර් 40 ක්‌ පමණ උසට වැඩෙන මෙම ශාක විශේෂය දිරාපත්වීමට ප්‍රතිරෝධතාවයක්‌ දක්‌වන තද දැව විශේෂයකි. 

මෙම ගසින් බාගයක්‌ කපා එය ඇතුළට මියගිය සිරුර සහිත පෙට්‌ටිය ඇතුළු කොට එම ශාකයේ ඉතිරි කොටස එහි ආවරණය ලෙසින් යොදා ගෙන ඇත.

මෙම පෙට්‌ටි එල්ලෙන ලෙසින් නිර්මාණය කිරීමත් මෙම වැසියන්ගේ පැවැති ඇදහිලි සහ විශ්වාස මත පදනම් වී තිබේ. 

පර්වතය පෑගීම පාපයක්‌ සේ සිතූ මෙම යුගයේ වැසියන් මිනිය සහිත පෙට්‌ටිය කඳු ගැටයේ එල්ලන ලද්දේ පලංචියක ආධාරයෙන් බවත් විශ්වාස කෙරේ. 

පෙට්‌ටිය සමග ඔවුන් කන්දට පය තැබුවේ නැත. 2003 වසරේ ඩිස්‌කවරි වාර්තා වැඩසටහනක්‌ මගින් මෙම මිනී පෙට්‌ටි කඳු ගැටය මගට රැගෙන ගිය අන්දම මුල් කරගෙන වාර්තා වැඩසටහනක්‌ සකස්‌ වී තිබේ.

1985 වසරේදී හොංකොං ජාතික මාධ්‍යවේදියෙක්‌ මෙන්ම ගවේෂකයෙක්‌ වූ "වොන් හව් මෑන්" යෑංසි නදිය ප්‍රදේශයට පැමිණියේ නැෂනල් ජියොග්‍රැපික්‌" සඟරාවේ වැඩසටහනකට වුවත් මෙම එල්ලෙන මිනී පෙට්‌ටි දැකීමෙන් පසුව පැමිණි කාරණයටත් වඩා මෙම එල්ලෙන මිනී පෙට්‌ටි වෙනුවෙන් අධ්‍යානයට යොමු වුණ අතර පසුව මෙම අධ්‍යයනයෙන් ඉවත් විය නොහැකි තරම් ඇබ්බැහියක්‌ තරමටම මෙම මිනී පෙට්‌ටි පිළිබඳ අධ්‍යයනය ඔහුගේ සිත්ගත් බවයි. 

ඔහු 1991 වසරේදී ඇමරිකා එක්‌සත් ජනපදයේ පුරා විද්‍යාව පිළිබඳ සඟරාවක්‌ මගින් තමාගේ අත්දැකීම් ලෝකයට අනාවරණය කරන ලදි.

යෑංසි නදිය ආශ්‍රිතව ගවේශන හා පර්යේෂණ සංගමයට සම්බන්ධ වුණ "වොන් හව් මෑන්" යුනාන් ප්‍රදේශයේ පිහිටි කන්දක සොහොනක්‌ ගවේශනය ආරම්භ කරනු ලැබුවේය. 

එම මිනී පෙට්‌ටි තැන්පත් කර තිබුණ ලී සියල්ල දිරාපත් ව තිබුණ නිසා ගවේශක කණ්‌ඩායම විසින් තාවකාලික ලෙසින් පලංචි බැඳගෙන ඉතා අසීරු ගමනකින් මෙම මිනී පෙට්‌ටි සමීපයට ගිය බැව් සඳහන් කරයි. 

මෙම මිනි පෙට්‌ටි ඉතා බරකින් යුක්‌ත වූ නිසා ඔවුන් ඒ පිළිබඳවත් අවධානය යොමු කරන විට පෙනී ගියේ එක්‌ පෙට්‌ටියක මියගිය කීපදෙනෙකුගේ අස්‌ථි කොටස්‌ මෙන්ම ඔවුන් පරිහරණය කරන ලද භාණ්‌ඩත් තැන්පත් කර තිබූ අන්දමයි.

එල්ලෙන සොහොන්වලටත් තර්ජන නැතුවා නොවෙයි...

මෙම එල්ලෙන සොහොන් පෙට්‌ටිවලින් කීපයක්‌ම ලැව්ගිනි නිසා විනාශයට පත් විය. 

තවත් මිනී පෙට්‌ටි ඇතුළත තැන්පත් කර තිබූ ඔවුන් පරිහරණය කරන ලද වටිනා භාණ්‌ඩ සොරකම් කර ගෙන තිබේ. 

මෑතක්‌ වන තෙක්‌ම චීනයේ අවධානයක්‌ නොතිබුණ මෙම කලාපය දැන් ජාතික උරුමයක්‌ ලෙසින් නම් කර තිබේ. 

සංස්‌කෘතික උරුමය පිළිබඳ පර්යේෂණායතනයේ පර්යේෂක "සූජින්" විසින් මෙම එල්ලෙන සොහොන් මුල් කර ගෙන විවිධ ජන සමූහයන්හි විවිධ කලාපයන්හි සහ කාලයන්හි සමාජගතව තිබෙන අවමංගල්‍ය චාරිත්‍රයන් සහ විනය අතර පවතින වෙනස්‌කම් මානව විද්‍යාව සහ පුරාවිද්‍යාව අතර දෝලනය වෙමින් ලෝකයට අදහස්‌ ඉදිරිපත් කරන බවයි.

(divaina.com -පුන්‍යා චාන්දනී ද සිල්වා)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.