Header Ads

පාසල් ගාස්තු නොගෙවූ 'වරදට' දරුවන් පිරිසක් බිම් මහලක සිර කරයි ...

ඉන්දියාවේ කාන්තා පාසලක සිසුවියන් දහසය දෙනෙකු ගොඩනැගිල්ලක බිම් මහලක පැය පහක කාලයක් සිර කර තැබූ බවට දිල්ලි අගනුවර පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

ළමුන්ගේ දෙමව්පියන් පාසල් ගාස්තු නොගෙවීම මෙලෙස ඔවුන් රඳවා තබා ගැනීමට හේතු වී ඇත.

ළදරු පාසලකට අයත් මෙම දරුවන් අවුරුදු හතර සිට හය අතර වයසේ පසුවන බව විශ්වාස කෙරේ.

පාසල් බලධාරීන් දේශීය මාධ්‍යයට පැවසුවේ සිසුවියන් "නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීමට වෙන්වූ කාමරයක" රඳවා තැබූ බවය. නමුත් ඒ ගැන වැඩි දුර විස්තර මේ දක්වා ප්‍රකාශ කර නැත.

සිය දියණියන් රැගෙන ඒමට පාසලට ගිය අවස්ථාවේදී ඔවුන් පංති කාමරයේ නොසිටි අතර, පසුව ඔවුන් පාසල් ගොඩනැගිල්ලේ බිම් මහලේ රඳවා තිබියදී සොයාගත් බව දෙමව්පියෝ පවසති.

දෙමව්පියන්ගේ පොලිස් පැමිණිල්ලට අනුව, ගැහැනු දරුවන් උදෑසන 7.30 සිට 12.30 දක්වා බිම් මහලේ රඳවා තබාගෙන ඇත.

බිම් මහල ඉතා උණුසුම් බැවින් සියලු දරුවන් "කුසගින්නෙන් සහ පිපාසයෙන්" සිටි බවට දෙමව්පියන් චෝදනා කරති.

"අපගේ පරීක්ෂණ අවසන් වූ පසු මෙම සිද්ධියට සඳහා වගකිව යුතු පුද්ගලයන් නම් හෙළි කිරීමට පුළුවන්" යැයි පොලිස් නිලධාරියෙක් බීබීසී වෙත පැවසීය.

ඇතැම් දෙමව්පියන් පවසන්නේ ඔවුන් නියමිත පරිදි පාසල් ගාස්තු ගෙවා තිබුණු බවය.

"මම පාසල් ගාස්තු ගෙවා ඇති බවට සාක්ෂි පෙන්වූවත්, විදුහල්පති සමාව ඉල්ලා සිටියේ හෝ පසුතැවිලි වුණේ නැහැ," දෙමව්පියන් අතරෙන් අයෙක් ඉන්දියානු NDTV වෙබ් අඩවිය වෙත පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳ ළමා අයිතිවාසිකම් සුරැකීමේ දිල්ලි කොමිෂන් සභාව විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබ ඇත.
bbc.com

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.