Header Ads

විජයකලාගේ ඇමතිකම ගැන තීන්දුව නීතිපති අතේ

ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය එම ඇමති ධුරයෙන් තාවකාලිකව ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනා කිරීමට තීරණය කර ඇතැයි ඊයේ (03) රාත්‍රී රජයේ හා පෞද්ගලික මාධ්‍ය මගින් ප්‍රකාශ වුවද අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා ගෙන් එවැනි ඉල්ලීමක් මෙතෙක් සිදුකර නොමැති බව ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයකු පැවසිය.

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු 'ගෙන් කල විමසීමක දී පැවසුයේ, නැවත වතාවක් එල්ටීටීඊ පාලනයක් උවමනා බවට රාජ්‍ය ඇමතිවරිය යාපනයේදී කල ප්‍රකාශයකට දැඩි විවේචන එල්ල වී තිබීම හේතුවෙන් අගමැතිවරයා විසින් එවැනි පියවරක් ගැනීමට යෝජනා කල ද ඇමතිවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කථානායක කරු ජයසුරිය මහතා කර ඇති නියෝගය අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ඇමතිවරුන් කිහිප දෙනෙකුම පෙන්වා දී ඇති බවයි.

ඒ අනුව නීතිපතිවරයාගේ තීරණය ලැබෙන තෙක් ඇමතිවරියගේ තනතුරු සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පමාවනු ඇතැයි එම ඇමතිවරයා වැඩිදුරටත් පැවසිය.

විජයකලා මහේශ්වරන් රාජ්‍ය ඇමැතිවරිය කර ඇති ප්‍රකාශයෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හෝ පවතින නීතිය උල්ලංඝනය වී තිබේ ද යන්න විමර්ශනය කර නීතිමය පියවර ගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දීමට කථානායක කරු ජයසූරිය මහතා විසින් ඊයේ (03 වැනිදා) සවස තීරණය කර තිබිණ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණය නිසා සභාව කල් තැබූ පසුව කථානායකවරයා මෙම තීන්දුව ගෙන ඇත.

විජයකලා නෙරපන්නැයි එජාප පසුපෙළෙන් බලපෑම්

කෙසේවුවද, එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය නිසා ඇය පක්ෂයේ සියලූ තනතුරුවලින් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබේ.

පාර්ලිමේන්තුව කල් තැබීමෙන් අනතුරුව එහි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා ඊයේ (03) මේ බව කියා සිටියේය.

''විජයකලාගේ ප්‍රකාශය එජාපයේ ස්ථාවරය නොවේ''

''දකුණට හිට්ලර් කෙනකු හෝ උතුරට ප්‍රභාකරන් කෙනෙකු ගෙන්න දෙන්නේ නැහැ'' - එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති හරින් ප්‍රනාන්දු

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ, රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය යාපනයේ දී කැර ඇතැයි කියන ප්‍රකාශ එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නොවන බවයි.

ඇමැති හරින් ප්‍රනාන්දු මහතා මේ බව පැවැසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

තවදුරටත් ඇමැතිවරයා කියා සිටියේ, විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කළැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ සභාපතිවරයාගේ උපදෙස් මත විනය පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි,

විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිනිය සිකුරාදා දිනයේ කොළඹට කැඳවීමට නියමිත බවත්, ඉන්පසු එතුමිය පක්ෂයේ මාධ්‍ය හමුවට සහභාගී වනු ඇති බවත්, එහි දී අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට කරුණු විමසීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

දකුණට හිට්ලර් කෙනකු හෝ උතුරට ප්‍රභාකරන් කෙනකු ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය කිසි ලෙසකින් වත් ඉඩ නොතබන බව ද අැමැති හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඍජුව හෝ වක්‍රව හෝ රට කඩන්න කිසිදු උදව්වක් කරන්නේ නැතැයි දිව්රුම් දෙන මහජන නියෝජිතයකු බෙදුම්වාදී ව්‍යාපාරයක් සාධාරණීකරණය කිරීම බරපතළ වරදක් බව එජාපයේ ස්ථාවරය වී ඇත.

Courtesy : srilankamirror.com 

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.