Header Ads

ජපානයේ ජාතික වස්තුවක් ලෙස පිදුම් ලැබු මිනිසාගේ ලඟම හිතවතා ඇකිතා

ජපානයේදී ආදරයෙන් හා ගෞරවයෙන් සලකනු ලබන ශක්තිමත් මෙන්ම ජවසම්පන්න සුනඛ විශේෂයක් තමයි ඇකිතා . එය කොයිතරම් දුරට ජපනුන්ට වැදගත් වූවාද කියතොත් 1931දී ජපන් රජය මේ සුනඛයා ජාතික වස්තුවක් බවට නම් කරනු ලබනවා.

ඇකිතා කීකරු ගතිගුණවලින් පූර්ණයි. දිරිමත් සතෙක්. තියුණු බුද්ධියක් තියෙනවා. මෙම සතුන්ගේ සිරුරේ ලොම් ස්ථර දෙකක් තියෙනවා. කෙටි බාහිර ලොම් ස්ථරය ඝනව වැඩෙන අතර ඊට යටින් සිනිඳු ලොම් සහිත ස්ථරයකුත් පිහිටනවා.

සුදුම සුදු, ළා අළු හෝ තද අළු පැල්ලම් සහිතව වර්ණ කිහිපයකින් වගේම පුල්ලි සහිතව බෝ කළ සතුන් ද දකින්නට පුළුවන්. සුදු පාට සුනඛයන් හැරුණාම අනෙක් සෑම සුනඛයකුගේම හොම්බ වටා කළු පැල්ලම් පිහිටා තිබෙනවා. උල් වූ කන් මුහුණ දෙපසින් පළල් වී වඩා කුඩාවීම විශේෂයි. දිගු වලිගය පසුපසින් වළල්ලක් ආකාරයට වකුටුයි. තද දුඹුරු පාටයි. හොඳින් වැඩුණාම උරහිස තරමට උස ප්‍රමාණය අඟල් 24-28 අතර වෙනවා. බර කිලෝ 75-110ක් අතරයි. මොවුන් ගෙහිමියන්ට ඉතාමත් ළැදියි. ගෙවල් ‍ෙදාරවල් මුරකරන්න උපන් හපනෙක්.

මෙම සත්ත්වයා සතුටෙහි සහ නිරෝගී බවේ සංකේතයක් විදියට ජපනුන් සලකනවා. අලුතෙන් විවාපත් වූවන්ට ජපනුන් මෙම සත්ත්වයාගේ රූප තෑගි කරන්නත් පුරුදු වෙලා ඉන්නේ ඒ නිසයි.

වසර 100කට පමණ උඩ දී උතුරු ජපානයේ කඳුකර ප්‍රදේශවලින් ගෙනාපු මේ සුනඛයන් මුලින්ම යොදාගත්තේ, බෝ කරගත්තේ 'රණකාමී බල්ලන්' වශයෙනුයි. පසුව දඩ බල්ලන්, ලෙස යොදාගෙන මුවන්, ගෝනුන්, වල්උෟරන් දඩයමේ යොදා ගෙන තිබෙනවා.

1937 දී ඇමෙරිකානු ජාතික අඳ බිහිරි ලේඛිකාවක් වූ හෙලන් කෙලර්ගේ ජපන් ගමනින් පසු මෙම සුනඛයන් ඇමෙරිකාවටත් හඳුන්වා දෙන්න හැකි වුණා. ඒ නිසා අන්ධයන්ට පාර කියා දෙන මාර්ගෝපදේශකයන්ගේ චරිතයත් රඟපාන්නේ ඇකිතලා තමයි.

ඔබ තෝකියෝහි ෂිබ්‍රයා දුම්රිය පොළ ඉදිරිපිටට ගිය දවසක මෙම සුනඛයකුගේ යෝධ අනුරුවක් දැක ගත හැකි වේවි. එහි අරුත නම් 'වැඩ ඇරී ගෙදර එන තුරු දුම්රිය පොළට වී සිටි උන් මේ වර්ගයේ සුනඛයකු තම ස්වාමියා මරණයට පත්වූ පසුත් කෙළෙහිගුණ දත්තකු වගේ පුරුද්දට වගේ තවත් වසර 10ක් ගතවන තුරුත්, උෟ මරණයට පත්වන තුරුත් එම දුම්රිය පොළට පැමිණීම සිහි කිරීම' උදෙසාය.

එවන් ගෞරවාදරයකට පත් ඇකිතා අමතක කරන්න ජපන් ජනතාව පෙලඹෙන්නේ නැත්තේ ඒ තරමට උෟ ජපන් ජනතාවගේ හද බැඳගත් සතකුව සිටින නිසයි.
උපුටා ගැනීම -mawbima.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.