Header Ads

පළාත් සභා ඡන්දය පැරැණි ක්‍රමයට : ජනපති තීන්දු කරයි

එළැඹෙන පළාත් සභා මැතිවරණය පැරැණි මැතිවරණ ක්‍රමය යටතේ ප්‍රමාද නොකර පැවැත්වීමට කටයුතු කරන ලෙස අදාළ පාර්ශ්ව වෙත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සතියේ උපදෙස් ලබාදුන් බව ජාතික ඒකාබද්ධතා, සාමය හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය.

එළැඹෙන පළාත් සභා මැතිවරණ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති බවත් එහිදී පළාත් සභා මැතිවරණය නියමිත කාල සීමාවේදී පැවැත්වීමට අදාළව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත උපදෙස් ලබාදුන් බවත් මනෝ ගනේෂන් මහතා කියා සිටියේය.

නව මැතිවරණ ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය නියමිත කාලයේදී පැවැත්වීමට නොහැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් බවද ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කළේය. 

ෆයිසර් මුස්තාෆා තනි කැමැත්තට :

එක්සත් ජාතික පෙරමුණේ සියලු දේශපාලන පක්ෂ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමය යටතේ පැවැත්වීමට එකඟතාව පළ කොට ඇති නමුත් ෆයිසර් මුස්තාෆා මහතා ඔහුගේ තනි කැමැත්තට කටයුතු කරමින් සිටින බවට මනෝ ගනේෂන් මහතා චෝදනා කළේය. 

සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇතත් එය තවමත් සම්මත වී නොමැති අතර එම වාර්තාව සම්මත වීම තවදුරටත් ප්‍රමාද වන්නේ නම් හා මැතිවරණ පැවැත්වීමට අදාළ නෛතික කාරණා ඉටුවීම ප්‍රමාද වන්නේ නම් පළාත් සභා මැතිවරණය පැවැත්වීම තවදුරටත් ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම විවිධ පාර්ශ්ව පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවේ පාර්ශ්ව මීට පෙර ප්‍රකාශ කොට තිබුණේ නැඟෙනහිර, සබරගමුව, උතුරු මැද නිල කාලය අවසන් වීමට නියමිත උතුර මධ්‍යම හා වයඹ යන පළාත් සභා හයේ මැතිවරණය දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට හැකි බවයි.
(under the courtesy of srilankamirror.lk news web)

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.