Header Ads

ඉන්දියාවේ තෙරේසා මව්තුමිය මිෂනාරි පුණ්‍යායතනය 'දරුවන් විකුණයි'

නැගෙනහිර ඉන්දියාවේ ජර්කාන්ද් (Jharkhand ) ප්‍රාන්තයේ තෙරේසා මව්තුමිය මිෂනාරි පුණ්‍යායතනයේ සේවය කරන කාන්තාවක් දින 14 ක් වයසැති දරුවකු විකිණීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

තවත් දරුවන් මේ ආකාරයට විකුණා ඇතැයි විශ්වාස කෙරෙන සිදුවීම් පිළිබඳ විමසීම සඳහා මධ්‍යස්ථානයේ සේවය කරන වෙනත් කාන්තාවන් දෙදෙනෙකු ද රැඳවුම් භාරයට ගෙන ඇත.

ජර්කාන්ද් ප්‍රාන්ත රජයේ ළමා සුබසාධන කමිටුව (CWC) විසින් කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය ක්‍රියාත්මක වී තිබේ.

"තවත් දරුවන් මේ විදියට විකුණා තිබෙන බව අපි සොයාගෙන තිබෙනවා. ඒ දරුවන්ගේ අම්මලාගේ නම් අපි ලබාගෙන තිබෙනවා. මේ සිද්ධිය ගැන තව දුරටත් විමර්ශන කටයුතු කරගෙන යනවා" යනුවෙන් පොලිස් නිලධාරියෙක් බීබීසී හින්දි සේවයේ නිරාජ් සිංහා වෙත පැවසීය.

ජර්කාන්ද් ප්‍රාන්තයේ අගනුවර වන රාන්චිහි පිහිටා තිබෙන මෙම මධ්‍යස්ථානයෙන් ඉන්දියානු රුපියල් 140,000 ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.

ඉන්දියාව පුරා පිහිටුවා තිබෙන මෙම මිෂනාරි පුණ්‍යායතනය මගින් අවිවාහක ගර්භණී කාන්තාවන් සඳහා අනාථ නිවාස පවත්වාගෙන යයි. එහෙත් දරුවන් හදාගැනීට අදාළ කටයුතුවල තවදුරටත් නොයෙදේ.

දරුකමට හදා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ ක්‍රියාත්මක වන දැඩි නීති මෙන්ම ඉතා දීර්ඝ කාලයක් බලා සිටීමට සිදු වීම හේතුවෙන් දරුවන් නොමැති දෙමාපියන් නීතිවිරෝධී ලෙස දරුවන් මිලදී ගැනීමට පෙලඹෙන තත්ත්වයක් දැකිය හැකිය.

නිදසුනක් වශයෙන්, 2015-2016 වසරවලදී දරුවන් නොමැති යුවළ 12,000ක් අදාළ ලැයිස්තුවේ ලියාපදිංචි වී සිටියද නීත්‍යනුකූල ලෙස දරුවන් හදාගැනීමට යොමු වී ඇත්තේ 3,011 ක් පමණි.

"ඉන්දියානු රුපියල් 120,000 කට උත්තර් ප්‍රදේශ්හි යුවළකට අලුත උපන් බිලිඳකු විකිණීම පිළිබඳ අපි පරීක්ෂණ පවත්වනවා" යනුවෙන් රජයේ ළමා සුබසාධන කමිටුවේ සභාපති රූපා කුමාරි බීබීසී වෙත පැවසීය.

උපුටා ගැනීම -www.bbc.com

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.