Header Ads

වචන හැසිරවීමේ වරදක් තිබුණත් විජයකලාගේ කතාවේ වරදක් නැහැ -විග්නේශ්වරන්

රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය පසුගියදා කළ කතාවේ වචන හැසිරවීමේ යම් වරදක් තිබුණද ඇයගේ කතාවේ අරුතේ කිසිදු වරදක් තමා නොදකින බව උතුරු පළාත් සභා මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේශ්වරන් මහතා මෙසේද කීවේය.

උතුරේ පසුගිය කාලයේ පැවැති ආරක්ෂාවත්, දැන් පවතින ආරක්ෂාවත් පිළිබඳ විවේචනය කිරීමට ඕනෑම අයෙකුට අයිතියක් තිබෙනවා. මම එම රැස්වීමේ සිටියා මෙතැනදී විජයකලා අමාත්‍යවරිය ප්‍රකාශ කළ කාරණය නිවැරැදිව අවබෝධ කරගෙන නැහැ. ඇය කළ කතාවේ වචනවල වරදක් තිබෙනවා. පසුව මම ඇයගෙන්ම එය විමසුවා. නමුත් වත්මන් අනාරක්ෂිත තත්ත්වය වෙනුවට උතුරේ ආරක්ෂිත වාතාවරණයක් ඇති විය යුතු යැයි ඇය කළ ප්‍රකාශයේ වරදක් මම දකින්නේ නැහැ.

අපගේ ජනතාව ආරක්ෂිතව ජීවත්වූ බව ඇත්තයි. එදා අප පළාතේ කාන්තාවක් ආභරණ පල¼දා රාත්‍රියේ නිවෙසට ගියත් ඇයට කිසිවක් සිදු නොවුණු බව ලෝකයාම දන්නා කාරණයක්. අද එලෙසද කඩු කෙටීම්, ගහගැනීම්, ප්‍රචණ්ඩත්වයන්, මත්ද්‍රව්‍ය භාවිතය, මත්ද්‍රව්‍ය ජාවාරම් උතුරේ වැඩි වෙලා. තරුණයන් අතර අපරාධ වැඩිවී තිබෙනවා.

ඒ නිසයි අපි පවසන්නේ හමුදාව ඉවත් කර උතුරට සම්පූර්ණයෙන් පොලිස් ආරක්ෂාව ලබා දෙන්න. එවිට මේ තත්ත්වය පාලනය කර පෙන්විය හැකි බව. තත්ත්වය මෙසේ තිබියදී දකුණේ ඇතැමුන් ආවේගශීලීව කටයුතු කිරීම ඉතා කනගාටුවට කාරණයක්. දකුණේ ඇතැමුන්ගේ මෙම ක්‍රියාදාමය විජයකලා මහත්මියට එරෙහිවූවක් නොවෙයි. එමඟින් තවදුරටත් පෙනී යන්නේ දෙමළ ජනතාව කෙරෙහි පවතින අවිශ්වාසය සැකය හා පිළිකුලයි. අපගේ ප්‍රකාශ විවේචනය නොකර අප හා සාකච්ඡා කිරීමට පැමිණෙන්න.

එක්සත් දේශපාලන වේදිකාවක් සඳහා පැමිණෙන්නැයි මම දකුණේ දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම අප අපගෙ ආරක්ෂාව හා ඉල්ලීම් ගැන කතා කිරීමේදී අපට අන්තවාදීන්, ත්‍රස්තවාදීන් යැයි ලේබල ගැසීම නතර කරන ලෙස ඉල්ලා සිටිනවා. ප්‍රභාකරන්ගේ කාලයේ අප ජනතාව ආරක්‍ෂිතව සිටියා යැයි අප ප්‍රකාශ කළ පමණින් අපත් ත්‍රස්තවාදියෝ වෙන්නේ නැහැ. එවන් ආරක්ෂිත කාලයක් ඇති වුණා නම් හොඳ යැයි පැවසීමත් සමඟ විජයකලා මහේෂ්වරන් මහත්මිය ත්‍රස්තවාදියෙක් වන්නේ නැහැ.

රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන්ද විග්නේශ්වරන් මහතා මෙලෙස අදහස් දැක්වීය.

අපගේ ජනතාවට ආරක්ෂාවක් නැහැ. අපට බලය නැහැ. අපගේ ප්‍රකාශයන්ට දකුණේ අප ගෞරවයක් නැහැ. අප පැත්තකට වෙන් කරලයි තිබෙන්නේ. අපි ආක්‍රමණය වී සිටිනවා. එබැවින් කර්නල් රත්නප්‍රිය බන්දු මහතා මෙන් අපට ඉල්ලූ සැණින් සියල්ල ලබාදීමට රන්ජන් රාමනායක මහතා ඉදිරිපත් විය යුතුයි. 

ඔවුන්ගේ රජය මඟින් කඩිනම්ව අප ජනතාවගේ ඉල්ලීම් ඉටු කර දෙන්නේ නම් මමත් අප ජනතාවත් රන්ජන් රාමනායක මහතා වෙත අපගේ සෙනෙහසත් ගෞරවයත් දක්වනවා. උතුරට පැමිණෙන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයාට මම ආරාධනා කරනවා. උතුරේ ජනතාවගේ සැබෑ තත්ත්වය ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. උතුරට පැමිණ තමන්ගේ දේශපාලන පක්ෂවලින් හමුදාවෙන් හෝ පොලිසියෙන් උතුරේ තත්ත්වය විමසීමෙන් පලක් නැහැ. මහජනතාවගෙන් විමසන්න. එවිට ඔවුන් පවසාවි කවරෙකුටද පුනරුත්ථාපනය අවශ්‍ය වී තිබෙන්නේ දැයි.

ලක්‍ෂ්මී ජයකොඩි 
mawbima.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.