Header Ads

ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ශ්‍රී ලංකා ගුවන් සේවයට රතු එලියක්

හිඟ මුදල් ගෙවන ලෙස ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයට ද දැනුම් දුන් බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ලබාගත් ඉන්ධන වෙනුවෙන් විදුලි බල මණ්ඩලය තෙල් සංස්ථාවට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 50කට අධිකයි. ඉන් රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් ඉකුත් දා තෙල් සංස්ථාවට ගෙවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබුණා. හිග මුදල් කඩිනමින් ගෙවා දමන ලෙස විදුලිබල මණ්ඩලයට ද දැනුම් දුන් බව තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග නෙත් නිවුස් වෙත කියා සිටියා.

මේ දිනවල දෛනික විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය 40කට ආසන්නයි. ඉන් සියයට 55ත් 60ත් අතර ප‍්‍රමාණයක් නිපදවන්නේ ජල විදුලියෙන්. තවත් සියයට 30කට ආසන්න ප‍්‍රමාණයක් ගල් අඟුරු බලාගාර මගින් නිපදවනවා. ඉතිරි සියයට දහයකට ආසන්න විදුලි ධාරිතාව නිපදවන්නේ ඉන්ධන උපයෝගී කර ගනිමින්.

එවන් පසුබිමක මෙලෙස අධික පිරිවැයක් දරා ඉන්ධන මගින් විදුලිය නිපදවීමට හේතු හා හිග මුදල් නොගෙවීම සම්බන්ධයෙන් නෙත් නිවුස් විදුලිබල අමාත්‍යංශයෙන් විමසීමක් කළා. එහි සංවර්ධන අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ පසුගිය සමයේ වර්ෂාපතනයේ අඩුවීමක් තුළ ජනතාවට අඛණ්ඩ විදුලිය සම්පාදනය කිරීම සඳහා තාප විදුලි බලාගාර වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට සිදු වූ බවයි.

මේ අතර හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් තෙල් නිකුත් කිරීම පිළිබඳ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමට ද අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. 

ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ලබාගත් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 12ක් ගෙවීමට ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ඔවුන්ට ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදු වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග නෙත් නිවුස් වෙත කියා සිටියා.

මෙලෙස හිඟ මුදල් නොගෙවීම හේතුවෙන් ගැටළුකාරී තත්වයක් පැන නැගී ඇති බවයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශය පැවසුවේ.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.