Header Ads

අපේකම රැකගෙන මීපැණිවලින් තුවාල සුව කරන අපේ කාලයේ ජීවකයාණෝ

තුවාලයක් හැදුණු අයකු එය සුව කර ගැනීමට කවුරුන් හෝ වෛද්‍යවරයකු ළඟට ගියත් සැබෑවටම තුවාලවලට ප්‍රතිකාර ලැබිය යුත්තේ ශල්‍ය වෛද්‍යවරයකුගෙනි. 

මන්ද තුවාල අයිති ශල්‍ය වෛද්‍ය විද්‍යාවට බැවිනි. සාමාන්‍ය තුවාලයක් ඉක්මනින් සුව වුවත් ඇතැම් කල්ගිය තුවාල නිසා සමහරු බොහෝ කල් බොහෝ වියදම් දරමින් තුවාල සුව කර ගන්නට බැරිව දුක් විඳිති. 

ඒ දුක විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න දුටුවේත්, හැඳින්නේත් අදින් වසර ගණනාවකට ඉහතදී වෛද්‍ය සිසුවකුව ඉගෙන ගන්නා කාලයේදීය. 

ඒ අවධියේ රෝහල් පුහුණුව හා සායනික පුහුණුව ලබද්දී දුටු ඇතැම් තුවාලකරුවන් නිසා ඔහු හිත නොසෙල් වුණා කීවොත් වැරැදිය. තුවාලය තුවාලකරුවන්ට ඒ තරමට තුවාලයක් වී ඇති අයුරු ඔහු දුටුවේය. 

වෛද්‍යවරයකු වූ පසු තමන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු වන බවට කෝසල සෝමරත්න හිතේ සනිටුහන් කර ගන්නේ කෑගල්ල රෝහලේ පුහුණුව ලද මේ කාලයේය. 

ඊට තවත් විශේෂම හේතුව වූයේ ඒ රෝහලේදී හමුවූ විශිෂ්ට ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වූ අශෝක ශ්‍රී විජේසුරේන්ද්‍ර මහතා යටතේ ඔහුට පුහුණුව ලබන්නට ලැබුණු නිසාය.

1996 වසරේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් පේරාදෙණිය වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබා 2002 වසරේ වෛද්‍ය උපාධිය ලැබූ කෝසල සෝමරත්න පේරාදෙණිය රෝහලින් සීමාවාසික පුහුණුව ලැබුවේය. අනතුරුව පේරාදෙණිය මහකන්ද රෝහලට පළමු පත්වීම ලබා සේවය කරමින් හිඳින කාලයේ 2006 වසරේ ශල්‍ය වෛද්‍ය පුහුණුව සඳහාද සුදුසුකම් ලැබුවේය. 

වෛද්‍ය කෝසල සෝමරත්නට නැවතත් 'තුවාල' ගැන විශේෂයෙන් ඇස යොමන්නට, හිත යොමන්නට සිදුවූයේ ශල්‍ය වෛද්‍ය පුහුණුවේදී බොහෝ තුවාලකරුවන් හමුවූ නිසාවෙනි.

''ඇත්තටම මම දැක්ක විශේෂම දේ තමයි තුවාල සුව කිරීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් තියෙනවා කියන එක. ශල්‍යකර්මයකදී ඇති වෙන ශල්‍ය තුවාල ඉක්මනින් සුව වුවත් ඇතැමකුට හැදිලා තියෙන සමහර තුවාල හොඳ කරන්න ගොඩක් කල් යනවා. 

විසබීජ පිරුණු තුවාල, සැරව පිරුණු තුවාල, දියවැඩියා තුවාල වගේ ඒවා. එහෙම තුවාල හොඳ වෙන්න කල් යන්නේ ඒ තුවාලය වසා පැතිර ඇති විසබීජ නිසා. විවිධ විසබීජ වර්ග මේ විදියට තුවාල ආක්‍රමණය කරනවා. 

ඒ විසබීජ අයින් කළාම තමයි තුවාලයක් සුව වෙන්නේ. ඉතින් මේ තුවාලවල විසබීජ අයින් කරන්න ඔෟෂධවලට විශාල මුදලක් පාවිච්චි කරනවා. 

ඔය සියල්ල දැනෙද්දී මට ඕන වුණා මේ කල්ගිය තුවාල මීට වඩා අඩු වියදමකින් විසබීජ අයින් කරලා කල් නොයවා ඉක්මනින් හොඳ කරන්න සරල පහසු ක්‍රමයක් තියෙනවාද බලන්න. 

ඒකෙන් තුවාලකරුවකුගේ හිතකට අප්‍රමාණ සහනයක් ලැබෙනවා කියලා මම අත්දැකීමෙන් දැන ගත්තේ එවන් තුවාලයක් ඇත්තකු මානසිකව වගේම ශාරීරිකවත් ලොකු පීඩාවකින් සිටින බව මම දැක්ක හින්දා. 

ඒ නිසා ඉක්මනින් තුවාල හොඳ කිරීම ආශ්‍රිතව මම තොරතුරු හෙව්වා. එහෙම තොරතුරු අධ්‍යයනය කරගෙන යද්දී අපේ සාම්ප්‍රදායික දැනුමින් මේ සඳහා ප්‍රතිකාරයක් තියෙන්න පුළුවන් කියලා හිතුවා.

ලංකාවේ ගොඩාක් ලෙඩ රෝගවලට දේශීය ප්‍රතිකාර ක්‍රම කෙරෙනවා. ඒ අතරේ මම පොතක් කියෙව්වා. ඒක ලියලා තිබුණේ බටහිර වෛද්‍යවරයෙක් වුණු ජෝන් ආටිගල. ඒ පොතේ තිබුණේ දේශීය දැනුම තුළ රෝග සුව කිරීමේ හැකියාව ගැන. දේශීය දැනුම තුළින් තුවාල සුව කරන්න පිළියමක් හොයන්න මේ පොතත් මට උත්ප්‍රේරකයක් වුණා.

මේ අවධියේ වෛද්‍ය කෝසල සෝමරත්න පුහුණුව ලබමින් සිටියේ පේරාදෙණිය රෝහලේය. ඔහු මී පැණිවලට කල්ගිය තුවාල හොඳ කිරීමේ හැකියාව ගැන පර්යේෂණයක් ඇරැඹුවේය. 


එහිදී ඔහු තෝරා ගනු ලැබුවේ විජබීජවලිනුත් ර්අඉඒ විසබීජ වසා ගත් තුවාල මී පැණියෙන් සුව කළ හැකිද යන්නයි. ඔහුගේ පර්යේෂණ සඳහා එවකට පේරාදෙණිය රෝහලේ සිටි අද විශ්‍රාමික මහාචාර්ය චන්න රත්නතුංග මහතාගේද විශේෂඥ ශල්‍ය වෛද්‍ය වෝල්ටර් තිසේරාගෙන්ද විසල් වූ පිටිබලයක් ලැබුණේය.

''ර්අඉඒ විසබීජය නිසා තුවලය සුව වීම කල්ගත වෙමින් පීඩා විඳ විවිධ තුවාල රෝගීන් ගණනාවක් මම මගේ පර්යේෂණයට බඳුන් කළා. ඇත්තටම මට ඉතා ඉක්මනින් මේ විසබීජය ඉවත් කර තුවාල හොඳ කරන්න පුළුවන් වුණා. 

මගේ පර්යේෂණය සාර්ථක වුණා. මම ර්අඉඒ විසබීජ සහිත තුවාලකරුවන් විතරක් මගේ පර්යේෂණයට ගත්තත් එවැනි ඕනෑම විසබීජ සහිත සුව වන්නට කල්ගත වූ තුවාලයක් මී පැණි ප්‍රතිකාරයෙන් සුව කරන්න පුළුවන් කියලා මම සනාථ කර ගත්තා. 

ඊට පස්සේ මම 2007 දී වගේ මගේ පර්යේෂණය ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට ඉදිරිපත් කළා.

දියවැඩියාව තුවාල විතරක් නොවේ මේ සුව වෙන්න කල් ගත වුණු හැම තුවාලයක් සඳහාම මී පැණි ප්‍රතිකාරය කිරීමේදී තුවාල මී පැණි ප්‍රතිකාරයෙන් විතරක්ම සුව වෙන්නේ නෑ. 

එවන් රෝගයකුගේ යහපත් භාවයට ගෙන ආ යුතු බහුවිධ කාරණා තියෙනවා. එතැනදී අපිට අවශ්‍යතාවේ හැටියට ප්‍රතිජීවක පාවිච්චි කරන්නත් වෙනවා. දියවැඩියා රෝගියකුගේ තුවාලයක් නම් මී පැණියෙන් සුව වෙන්න වුණත් රෝගියාගේ සීනි පාලනය කරන්නම ඕන.

ඒ වගේම මැරිච්ච පටක, සැරව වගේ අයින් කරන්න ඕන. තුවාලය අවට පැතිරිලා නම් ප්‍රතිජීවක මඟින් ඒක පාලනය කර ගන්නත් ඕන. 

ඒ වගේම රෝගියාට ලේ දෙන්න ඕනද, රෝගියාගේ පෝෂණ තත්ත්වය වැනි කාරණා සියල්ල යහපත් කරන්න ඕන මේ හැම කල්ගත වෙච්ච තුවාලයක්ම සුව වෙන්න නම්. තුවාලයක් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් බැලිය යුතුයි කියන්නෙත් ඒකයි. 

ඒ වගේමයි තුවාලයක් සුව වෙන්න යන කාලය කාටවත් කියන්න බෑ. ඒක රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා. 

ඒ වගේමයි මී පැණිවලින් තුවාල හොඳ වෙනවා කියලා ඕන කෙනකුට මී පැණි දාන්නත් බෑ. අර බහුවිධ කාරණා එක්ක හඳුනා ගන්න ඕන තුවාලය ඔඩු දුවලද... මේක සාමාන්‍ය තුවාලයක්ද.. පිළිකා තුවාලයක්ද වගේ කාරණා. 

ඒක තුවාලයක් දුටු ගමන් ශල්‍ය වෛද්‍යවරයකුට හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ පිළිකා තුවාලයක් නම් ඒකට මී පැණි හරියන්නේ නෑ. ඒ සඳහා වෙනත් ප්‍රතිකාර තියෙනවා කරන්න.

ඒ කෙසේ වෙතත් විශේෂයෙන් අද වනවිට දියවැඩියා රෝගී තත්ත්වය නිසා ඇති තුවාල කල් ගතවීත් සුව නොවීම හේතුවෙන් බොහෝ දෙනෙක් පීඩා විඳිති. ඇතැම් විට මේ තුවාල සුව කර ගැනීමට නොහැකි වීම නිසා මිල මුදලින් පරිහානියට පත් වීමත්, වසර ගණන් මේ තුවාල ශරීරයේ රඳවා ගෙනම ජීවිතයේ කෙළවර දැකීමත් සිදුවේ. 

නොඑසේ නම් නිසි ප්‍රතිකාර නොමැතිව ඔඩුදුවන තුවාලය ඉවත් කර ගන්නට ශරීර කොටස් කපා ඉවත් කිරීමත් සිදුවේ. 

එසේ එවන් තුවාලවලින් පීඩා විඳින රෝගීන් හටත් වෛද්‍ය කෝසල සෝමරත්නගේ මී පැණි ප්‍රතිකාරයෙන් සුවයක් ලබාගත හැකිවාට සැක නැති බව සිතෙන්නේ දියවැඩියා තුවාලත් මේ ප්‍රතිකාර ක්‍රමයෙන් සුව කළ හැකි බව ඔහු කියන නිසයි.

''මම මී පැණි ප්‍රතිකාරය සඳහා මී පැණි ඔෟෂධයක් නිපදවලා නම් නෑ. නමුත් මේ සඳහා පාවිච්චි කරන්න ඕන පිරිසුදු මී පැණි පමණයි.''

කඩවල්වල තියෙන සීනි කලවම් කරපු මී පැණිවලින් මේ ප්‍රතිකාරය කරන්න බෑ. මට පිරිසුදු මී පැණි සපයන්නන් පිරිසක් ඉන්නවා. මී පැණි කියන්නෙ තුවාලවල විසබීජ ඉවත් කරන ඔෟෂධමය සැරහුමක්. 

ඒ මී පැණි සැරහුමට ඉක්මනට විසබීජ උරාගෙන තුවාලයෙන් විසබීජ අහක් කරනවා. මේ විදියට මී පැණිවලින් තුවාල සුව කිරීම පෙරදිග වෛද්‍ය විද්‍යාවේ කෙරුණත් මා දන්නා තරමින් බටහිර වෛද්‍ය විද්‍යාවේ දැනට තුවාල සඳහා මේ ප්‍රතිකාරය කරන්නේ මා පමණයි. 

අවුරුදු 12ක් වෙනවා මම මේ ප්‍රතිකාර ක්‍රමය පටන් අරන්. අවුරුදු ‍ෙදාළහට කල්ගිය තුවාල ලෙඩ්ඩු 1000කට වැඩිය සුව කරලා තියෙනවා. ඇත්තටම මම කියන්නේ දැනුම පිටරටින් එනකල් බලන් ඉන්න එපා කියලයි. අපේ දෙයක් අපි හොයාගන්න නම් පර්යේෂණ කරන්න කියලයි."

"මම 2006 වසරේ අනුරාධපුර යුද හමුදා රෝහලෙත් 2008 වසරෙ යාපනේ පලාලි හමුදා රොහලෙත් ස්වේච්ඡාවෙන් සේවය කළා. 

යුද්ධය අවසාන කාලේ වෙද්දි තුවාල ලබන හමුදා භටයන් වෙනුවෙන් හමුදාවට ශල්‍ය සේවය අවශ්‍යයි කියලා මට තේරුණු නිසා මම පේරාදෙණිය පශ්චාත් උපාධි ආයතනයෙන් විශේෂ ඉල්ලීමක් කරලා කෙටි කාලයකට විශේෂඥ ශල්‍ය වෛද්‍ය පුහුණුවෙන් ඉවත්වෙලයි ගියේ. ඒ ගිහින් යුද්දෙ ඉවරවෙනකල් හිටියා. 

හැබැයි ඉතින් ඒ කාලේ මී පැණි ප්‍රතිකාරය කරන්න බැරිවුණා. අපි ප්‍රතිකාර කළේ අලුත් ශල්‍ය තුවාලවලට. ඒ වෙලාවට අවශ්‍ය හදිසි ප්‍රතිකාර, ශල්‍යකර්ම කරලා ගුවනින් කොළඹ එව්වා. 

යුද්දෙ ඉවර වුණාම ඇවිත් ජාතික රෝහලට සම්බන්ධ වෙලා විභාග කටයුතු ඉවර කරලා කළුබෝවිල රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අනුර බානගල යටතේ උසස් ශල්‍ය වෛද්‍ය පුහුණුව ලැබුවා. 2012 අග භාගයේ එංගලන්තයට ගියා ශල්‍ය වෛද්‍ය පුහුණුව අවසන් කරන්න."

එංගලන්තයෙන් ශල්‍ය වෛද්‍ය විශේෂඥ පුහුණුව අවසන් කර ලංකාවට පැමිණි විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමරත්න මහනුවර මහ රෝහලේ නේවාසික ශල්‍ය වෛද්‍යවරයා ලෙස පත්වුණේය. 

ඉන්පසු 2015 වසරේ ඔහු රිකිල්ලගස්කඩ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස පත්වුණේය. එතැන් පටත් අදටත් ඔහු රිකිල්ලගස්කඩ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි. 

මේ රෝහලට කල්ගිය තුවාල සඳහා ප්‍රතිකාර පතා එන තුවාල රෝගීන් වෙනුවෙන් වෛද්‍ය කෝසල සෝමරත්නගෙන් ලැබෙන්නේ 'මී පැණි' ප්‍රතිකාරයයි.

''මම මගේ වෛද්‍ය පර්යේෂණ ඇසුරින් පර්යේෂණ පත්‍රිකා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ පළමු වැනි එක වුණේ කල්ගිය තුවාල මී පැණියෙන් සුවකරන්න පුළුවන් කියන පර්යේෂණ පත්‍රිකාව. 

මම මේක ඉදිරිපත් කළේ 2007දී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට. ඊට පස්සේ යුද හමුදා අත්දැකීම් එක්ක විශේෂ පර්යේෂණ පත්‍රිකා පහක් ඉදිරිපත් කළා අන්තර්ජාතිකව 2011දී ජපානයේ යොකෝහමාවල පැවැති ජපන් ශල්‍ය වෛද්‍ය සමුළුවට. 

එයින් එක් පර්යේෂණ පත්‍රිකාවක් වූයේ රාජසිංහ ක්‍රමවේදයයි. අක්මාවට අධිබලැති උණ්ඩවලින් තුවාල වුණාම ලෝකයේ මෙතෙක් නොකළ ඒ සඳහා අපි අනුගමනය කළ විශේෂ ක්‍රමවේදයක් ගැනයි ඒ ප්‍රසිද්ධ කළේ. 

2012දී ජපානයේ යොකෝහමාවල පැවති තුවාල සුව කිරීම පිළිබඳ ලෝක සමුළුවට තුවාල සුව කිරීම පිළිබඳ පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. ශල්‍යකර්මයෙන් තොරව ඇපන්ඩිසයිටිස් රෝගයට ප්‍රතිකාර කිරීම සම්බන්ධවත් වලපනේ ක්‍රමවේදය මඟින් භගන්දර රෝගයට නව ශල්‍ය ක්‍රමවේදයක් ලෙසින් තවත් පර්යේෂණ පත්‍රිකා දෙකක් අන්තර්ජාතිකව ඉදිරිපත් කළා 2017දී."

අපේකම රැකෙන්නට අපෙන් ලෝක වෛද්‍ය ක්ෂේත්‍රයට දෙයක් දෙන්නට පර්යේෂණ කරමින් පර්යේෂණ පත්‍රිකා නවයක් පමණ අන්තර්ජාතිකව ඉදිරිපත් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය කෝසල සෝමසිරි 2017දී ලැබෙන ආරාධනාවකට අනුව ලෝක යුද ශල්‍ය විශේෂඥවරුන්ගේ සංගමයට (ඒර්ථීධ්ර්ඉජ්) බැඳෙයි. 

එතැන් පටන් දිගටම ලංකාව නියෝජනය කළ ඔහු 2020 _ 2021 කාලය සඳහා සභාපති තනතුරටද පත්ව හිඳියි. ගිරි ශිඛර අෑත වනවදුලේ හැදෙන පිරිසුදු මී පැණි ටිකකින් කෙනකුගේ දුක්විඳින තුවාල සුවකරන්නට පුළුවන් බව ලෝකයටත් කියා එසේ රෝගීන් සිය ගාණකට සැනසුම ළගා කරවන වෛද්‍ය කෝසල සෝමරත්න වැන්නවුන් අපේ රටට වාසනාවක්ම වන්නෝය.
උපුටා ගැනීම -mawbima.lk

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.