Header Ads

යුගෝස්ලාවියාවෙන් උපන් ක්‍රොයේෂියා පාපන්දු කණ්ඩායම.

ඉතාලියේ පැවති 1990 පාපන්දු ලෝක කුසලානය සඳහා පැමිණි යුගෝස්ලාවියානු කණ්ඩායම දක්ෂයින් රැසකගෙන් සමන්විත වූයේ ය.

 පළමු තරගයෙන් බටහිර ජර්මනිය හමුවේ පරාජය වුවද ඔව්හු ඉන්පසුව හොඳ තරග විලාශයක් පෙන්නුම් කරමින් මූලික වටයේදී කොළොම්බියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජය කොට 16 දෙනාගේ වටයේදී ප්‍රබල ස්පාඤ්ඤය 2-1 ක් ලෙස පරාජය කළ හ. 

මේ අනුව අර්ධ අවසන් පූර්ව වටයේදී ඔවුනට මුහුණ දීමට සිදු වූයේ ආර්ජන්ටිනාවට ය.

එවක යුගෝස්ලාවියානු පුහුණුකරු වූ ඉවිකා ඕසිම් සඳහන් කරන අයුරින් රටේ දේශපාලන ව්‍යාකූල තත්ත්වයන් කණ්ඩායමට බලපාන්නට වූයේ මේ අවස්ථාවේ ය.

තරගය ඇරඹීමට පැය කිහිපයකට පෙර කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වූ ස්ට්‍රෙජ්කෝ කටනෙච් පුහුණුකරුගෙන් ඉල්ලීමක් කරමින් තමා තරගය සඳහා ක්‍රීඩා කිරීමට තෝරා නොගන්නා ලෙස ඉල්ලා සිටියේ ය.

 ස්ලොවීනියානුවකු වූ ඔහුට ඔහු ජීවත් වූ ලුබ්යානා නගරයේ ජාතිකවාදීන් ගෙන් තර්ජන පැමිණ තිබිණ. ඔහු තමා විසූ නගරයේ ඔබ මොබ සැරි සැරීමට බිය වූයේ ය. 

ඔහු ඉතාලියේ සිටියදී සිය පවුලට උපද්‍රවයක් වේ යයි බිය වූයේ ය. එවන් අවස්ථාවක එවන් අවදානමක් ගැනීමට පුහුණුකරු සූදානම් වූයේ නැත. යුගෝස්ලාවියාව එම තරගය දඬුවම් පහරවලින් පරාජය විය.

"විශාල මිනිසුන් පිරිසක් මිය ගියා. රට විනාශ වුණා. එක් දෙයක් පැහැදිලියි. දේශපාලකයන් වෙනුවට ක්‍රීඩකයන් රට පාලනය කළා නම් මෙහෙම දෙයක් වෙන්නේ නැහැ." බොස්නියානු ජාතික ඕසිම්ගේ අදහස් මේ ආකාර වූයේ ය.

1990 යුගෝස්ලාව් කණ්ඩායම සී සී කඩ නොවී නම්, කිනම් ආකාරයේ කීර්තියක් අත්කර ගනීද යන්න ඕසිම් ඇතුළු බොහෝ දෙනා සිය පරිකල්පනය ඔස්සේ සිතා බැලූ, සහ අදටත් සිතා බලන, කිසි දිනෙක අත්හදා බැලීමට අවස්ථාවක් නොලැබෙන කරුණකි.

යුගෝස්ලාවියාව 1987 දී අවුරුදු 21 න් පහළ ලෝක කුසලානය ජයග්‍රහණය කළේ බොහෝ දෙනා බලාපොරොත්තු නොවූ ලෙස ය. නමුත් ඔවුනගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොවී ය. 

1990 වන විට යුගෝස්ලාවියා කණ්ඩායමේ තරුණ, දක්ෂ ක්‍රීඩකයන් රැසක් වූහ. 1991 දී බෙල්ග්‍රේඩ් නගරයේ සුප්‍රකට රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ් කණ්ඩායම යුරෝපා කුසලානය දිනා ගත්තේ එවකට බටහිර යුරෝපයේ සුපිරි පාපන්දු ක්‍රීඩා සමාජය වූ මාර්සේයි ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

නමුත් වසරක් ඇතුලත යුගෝස්ලාවියාව ලෝක පාපන්දු ෆෙඩරේශනයෙන් (FIFA) ඉවත් කෙරිණ. 1990 න් පසු එරට සී සී කඩ වූ අතර බොස්නියාව පිළිබඳ වූ යුද්ධය නිම වූයේ 1995 දී ය. 1990 දී එක් රාජ්‍යයක් වූ යුගෝස්ලාවියාව කැඩී ගියේ ය.

බිඳ වැටුණු යුගෝස්ලාවියාව තුළින් මතු වූ ක්‍රොයේෂියාව පළමු වරට පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලද්දේ 1998 දී ය. බොහෝ දෙනෙකු ඊට කළින් ක්‍රොයේෂියාව පිළිබඳ අසා තිබුණේ ද නැත.

යුගෝස්ලාවියාව

පළමු ලෝක යුද්ධය අවසානයේදී නිර්මාණය කෙරුණු සර්බ්, ක්‍රොඇට් සහ ස්ලොවීන්වරුන්ගේ රාජධානිය කෘත්‍රිම නිර්මාණයක් විය. බෝල්කන් ප්‍රදේශවල ස්ලාව් ජාතිකයන් ගේ රාජ්‍යයක් ලෙස එය නිර්මාණය කරන ලදී. 1929 දී එය යුගෝස්ලාවියාව නොහොත් දකුණු ස්ලාව්වරුන්ගේ රාජ්‍යය නමින් නම් කරන ලදී.

මෙහි ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි සර්බ්වරුන්, කතෝලික ක්‍රොඇට්වරුන් සහ ස්ලොවීන්වරුන් මෙන්ම මුස්ලිම් බොස්නියැක්වරුන් සහ ඇල්බේනියන්වරුන් ආදී විවිධ ජනවර්ගවල පුද්ගලයෝ වාසය කළ හ. මොවුන් අතර ඓතිහාසික වෙනස්කම් සහ එදිරිවාදිකම් ද සුළුපටු නොවී ය.

දෙවන ලෝක යුද්ධයට පෙර මෙම රාජ්‍යය පාලනය කළේ කලින් සර්බියාව පාලනය කළ කාරාජෝර්ජ්වික් රජ පෙළපත විසිනි. විශේෂයෙන් ම ජනවාරි 6 අඥාදායකත්වය (1929 දී) පිහිටවූ පසු එම රාජ්‍යය ඒකාධිපති සර්බ් රජ පවුලක පාලනය යටතේ වූ රාජ්‍යයක් වූ අතර සර්බ් නොවන ජාතීහු එම පාලනය නොරිස්සූ හ.

ක්‍රොයේෂියාවේ පාපන්දු ක්‍රීඩාව ආරම්භය

ක්‍රොයේෂියාවට පාපන්දු ක්‍රීඩාව හඳුන්වා දුන්නේ ඉංග්‍රීසි ජාතිකයන් පිරිසකි. 19 වන සියවස අග භාගයේදී රියෙකා (Rijeka) නගරයේ කර්මාන්තශාලාවක් ඇරඹීමට පැමිණි ඉංග්‍රීසින් පිරිසක් මෙම ක්‍රීඩාවේ යෙදුණ හ. නමුත් ඔවුන් ස්වදේශිකයන් මේ සඳහා සම්බන්ධ කරගත් බවට වාර්තාවක් නොමැත.

ක්‍රොඇට්වරුන්ට පාපන්දු ක්‍රීඩාවේ යෙදීමේ අවස්ථාව මුලින්ම ලැබුණේ තවත් කර්මාන්තශාලා කිහිපයක රාජකාරි කළ ඉංග්‍රීසීන් පිරිසක් හේතුවෙනි. ඒ ෂුපන්යා නම් නගරයකදී ය. මෙහි දී ක්‍රොඇට්වරුන් ද ඉංග්‍රීසින් හා එක්ව පාපන්දු ක්‍රීඩා කළෝ ය.

20 වන සියවසේ පළමු දශකයේදී ක්‍රොයේෂියාවේ පළමු පාපන්දු ක්‍රීඩා සමාජ බිහි වූ අතර පාපන් දු නීති රීති ද ක්‍රොඇට් බසට පරිවර්තනය වී තිබුණි.

මෙකළ ක්‍රොයේෂියාව ඔස්ට්‍රා-හන්ගේරියානු අධිරාජ්‍යයයේ කොටසක් වූ අතර එතුල වෙනම ම ක්‍රොයේෂියානු පාපන්දු ෆෙඩරේශනයක් බිහි වූයේ 1912 ජූනි 13 වනදා ය. 1918 දී යුගෝස්ලාවියාව බිහි වන අවස්ථාව වනවිට ක්‍රොයේෂියාවට පොහොසත් පාපන්දු උරුමයක් වූයේ ය. එය කෙතෙක් වීද යත් 1919 දී යුගෝස්ලාව් පාපන්දු ෆෙඩරේශනය මුලින්ම පිහිටුවන අවස්ථාවේ එහි මූලස්ථානය වූයේ ක්‍රොයේෂියාවේ සාග්‍රෙබ් නගරයේ ය. එමෙන්ම එයට නම පවා තබන ලද්දේ ක්‍රොඇට් බසිනි.

1929 ඒකාධිපතිත්වය පිහිටවූ පසු යුගෝස්ලාව් පාපන්දු ෆෙඩරේශන මූලස්ථානය යුගෝස්ලාව් අගනුවර වූ බෙල්ග්‍රේඩ් වෙත ගෙනයන ලදී. මෙයට විරුද්ධ වූ ක්‍රොයේෂියානු ක්‍රීඩකයෝ 1930 සමාරම්භක ලෝක කුසලානයේදී යුගෝස්ලාව් පිළ නියෝජනය කිරීමෙන් වැළකී සිටිය හ. මේ අනුව රටේ හොඳම ක්‍රීඩකයන් පිරිසක් නොමැතිව වුවද යුගෝස්ලාව් පිළ තෙවන ස්ථානය දිනාගත් හ.

FIFA සාමාජිකත්වය

සර්බ් ඒකාධිපතිත්වයට එරෙහි ව 1929 දී ම මතුවූ ෆැසිස්ට්, ත්‍රස්තවාදී සංවිධානයක් වූයේ ය. උස්ටාෂේ නම් වූ මෙම සංවිධානයට අවශ්‍ය වූයේ ස්වාධීන ක්‍රොයේෂියාවකි. 1940 දී හිට්ලර්ගේ නට්සි ජර්මනිය යුගෝස්ලාවියාව ආක්‍රමණය කළ පසු උස්ටාෂේ සංවිධානයේ පාලනය යටතේ ස්වාධීන ක්‍රොයේෂියාවක් නිර්මාණය කරන ලදී. මෙය සත්‍ය වශයෙන් ම නට්සි ජර්මනියේ සහ ෆැසිස්ට් ඉතාලියේ රූකඩ රාජ්‍යයක් වුවද ස්වදේශික වශයෙන් ප්‍රබල සන්නද්ධ බලයක් සහිත වූ ද අතිශයින් ම ප්‍රජාපීඩක වූ ද රාජ්‍යයක් විය. විශේෂයෙන් ම ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ලබ්ධික සර්බ්වරුන්ට උස්ටාෂේවරුන් කෙතරම් කුරිරු වී ද යත් ඇතැම් නට්සින් පවා ඔවුනගේ කුරිරුභාවය අසා පුදුමයට පත් වූ බව කියනු ලැබේ. උග්‍ර කතෝලිකයන් වූ උස්ටාෂේ පාලනයට කතෝලික පල්ලියේ ද අනුබලය ලැබුණේ ය.

කෙසේ වෙතත් පාපන්දු ක්‍රීඩාව අංශයෙන් ගත් කළ මෙම ස්වාධීන ක්‍රොඇට් රාජ්‍යය බිහි වීම ලෝක පාපන්දු ෆෙඩරේශනයේ (FIFA) සාමාජිකත්වය සඳහා ක්‍රොයේෂියාවට අවස්ථාව ගෙන දුන්නේ ය. 1941 සිට 1944 දක්වා සාමාජිකත්වය දැරූ ක්‍රොයේෂියාව මිත්‍රශීලී ජාත්‍යන්තර තරග කිහිපයකට ද සහභාගී වූයේ ය.

සමාජවාදී යුගෝස්ලාවියාව

නමුත් දෙවන ලෝක යුද්ධය අවසානය කරා ගමන් කරද්දී උස්ටාෂේ පාලනයේ ද අවසානය ළඟා විය. මෙම විරුද්ධවාදීන්ට ද නායකත්වය දුන්නේ ක්‍රොඇට් ජාතිකයෙකි. ඔහු ජොසිප් බ්‍රොස් හෙවත් ටිටෝ ය.

දෙවන ලෝක යුද්ධයෙන් පසු යුගෝස්ලාවියාව කොමියුනිස්ට් රාජ්‍යයක් ලෙස නිර්මාණය වූ අතර පැරණි මධ්‍යගත රාජාණ්ඩු පාලනය වෙනුවට සමාජවාදී ෆෙඩරේශනයක් පිහිටුවන ලදී. ඒ අනුව නිල වශයෙන් එකිනෙකා හා සමාන බලතල සහිත සමාජවාදී සමූහාණ්ඩු හයක එකමුතුවක් ලෙස යුගෝස්ලාවියාව ප්‍රතිනිර්මාණය විය. එම සමූහාණ්ඩු නම් සර්බියාව, ක්‍රොයේෂියාව, බොස්නියා හර්සගොවිනාව, මොන්ටිනෙග්‍රෝව, ස්ලොවීනියාව සහ මැසඩෝනියාව ය.

පාපන්දු ක්‍රීඩාව පැත්තෙන් ගත් කළ දේශීය පාපන්දු ක්ෂේත්‍රය ද පැහැදිලි ප්‍රතිසංවිධානයකට ලක් වූයේ ය. ෆැසිස්ට් පාලනය යටතේ ක්‍රියාත්මක වූ ක්‍රීඩා සමාජ විසිරුවා හරින ලදී. ඒවායේ ස්ථානය ගත් ක්‍රීඩා සමාජ අතර ප්‍රබල ම ක්‍රීඩා සමාජ දෙක ලෙස බෙල්ග්‍රේඩ් හි “රෙඩ් ස්ටාර් බෙල්ග්‍රේඩ්” ද ක්‍රොයේෂියාවේ සග්‍රබ් හි “දිනාමෝ සග්‍රෙබ්” ද ප්‍රමුඛ ලෙස ම ඉස්මතු විය. ලොව වටා පාපන්දු ලෝලීන් රියාල් මැඩ්‍රිඩ් - බාර්සිලෝනා එදිරිවාදිකම දෙස නෙත් දල්වා බලා සිටින අයුරින් ම නැගෙනහිර යුරෝපයේ, වෙසෙසින් ම යුගෝස්ලාවියාවේ පාපන්දු ලෝලීන්, රෙඩ් ස්ටාර් - දිනාමෝ එදිරිවාදිකම දෙස බලා සිටියෝ ය.

දිනාමෝ - රෙඩ් ස්ටාර් කෝලාහලය

ටිටෝ සිය පාලන සමය තුළ ජාතිකවාදයට නැගී සිටීමට අවස්ථාව නුදුන්නේ ය. නමුත් 1980 දී ඔහු මියගිය පසු කෙමෙන් කෙමෙන් මෙම පාලනය දුර්වල වූයේ ය. රටේ ආර්ථික තත්ත්වය ද කෙමෙන් අයහපත් වූ අතර ඒ හේතුවෙන් ද ජාතිවාදය කෙමෙන් හිස එසවී ය.

1980 දශකයේ අගභාගයේ සිට නිතර කියවුණ රාජ්‍ය නායකයින් දෙදෙනකු මෙහිදී ඉස්මතු වූහ. එක් අයකු වූයේ සර්බියාවේ ස්ලෝබොදාන් මිලොසෙවිච් ය. අනෙක් තැනැත්තා ක්‍රොයේෂියාවේ ෆ්‍රැන්යෝ ටුජ්මන් ය. 1989 දී මිලොසෙවිච් සර්බියාවේ ජනාධිපති ධුරයට පත් වූයේ මතුවෙමින් පැවති ජාතිකවාදී ව්‍යාපාරයන් අවි බලයෙන් බිඳ හෙලන අදිටනිනි.

මෙම උණුසුම් තත්ත්වය 1990 දී රෙඩ් ස්ටාර් - දිනාමෝ පාපන්දු එදිරිවාදිකමට ද කාන්දු වූයේ ය. සග්‍රෙබ් හි මැයි 13 වනදා පවත්වන ලද තරගය නැරඹීමට බෙල්ග්‍රේඩ් සිට 3000 ක පමණ ක්‍රීඩා ලෝලීහු සග්‍රෙබ් වෙත පිටත් වූහ. ඔවුන් එහි ගියේ අවශ්‍ය නම් කෝලාහලයකට වුවද සැරසී ය. තරගයට පෙර පටන් ම නගරයේ ඇතැම් ස්ථානවල ගැටුම් ඇති විය. නමුත් නියම ගැටුම ඇති වූයේ ක්‍රීඩාංගණයේදී ය. “බෑඩ් බ්ලූ බෝයිස්” නම් වූ දිනාමෝ ක්‍රීඩා ලෝලීහු ප්‍රතිවාදීන් උසි ගැන්වූ බව කියයි. මේ අතර “ඩෙලියේ” නම් වූ රෙඩ් ස්ටාර් ක්‍රීඩාලෝලීහු ද සටනට ම සැරසී සිටි හෙයින්, කඩා දමන ලද ආසන සහ පිහි ද අතැතිව ප්‍රතිවාදීන් වෙත කඩා වැදුණේ සග්‍රෙබ් අයිති සර්බියාවට බවටත් ටුජ්මන් මරණ බවටත් වහසි බස් දොඩමින් බව කියනු ලබයි.

මෙම කෝලාහලය අතරතුර ස්වොනිමීර් බොබාන් නම් දිනාමෝ ක්‍රීඩකයකු, දිනාමෝ ආධාරකරුවකුට පහර දුන් පොලිස් නිලධාරියකුට පහර දුන්නේ ය. එම සිද්ධිය ඔහුව ක්‍රොයේෂියාවේ ජාතික වීරයකු කළේ ය.

ජයග්‍රහණය

බොබාන් ඉන් වසර අටකට පසු ප්‍රංශයේදී විරුවන් බවට පත් වූ ක්‍රොයේෂියා කණ්ඩායමේ නායකයා බවට පත් වූයේ ය. එමෙන්ම එම කණ් ඩායමේ ප්‍රබලම ප්‍රහාරකයා බවට පත් වූ ඩවෝර් ෂුකර් ද 1990 දී දිනාමෝ පිළේ ප්‍රබලයකු වූයේ ය. ෂුකර් 1987 අවුරුදු 21 න් පහළ ලෝක කුසලානයේදී ද ක්‍රොයේෂියාවේ වීරයා බවට පත් වූ ක්‍රීඩකයා ය.

යුගෝස්ලෝවියාව කැඩී බිඳී යාම හේතුවෙන් ප්‍රබල, තරුණ ක්‍රීඩකයන් ගණනාවකට වසර කිහිපයක් යනතුරු ජාත්‍යන්තර තරග අහිමි ව ගියේ ය. ඔවුන් යළි FIFA ආයතනයට සම්බන්ධ වූයේ එක් එක් රටවල පාපන්දු සංගම් ලෙස ය.

1998 ලෝක කුසලානයට සුදුසුකම් ලැබීම ක්‍රොයේෂියාවේ අභිලාශය විය. ඔවුනට ඒ සඳහා හොඳ ක්‍රීඩා උරුමයක් මෙන්ම ප්‍රබල දේශමාමකත්වයක් ද විය. තම රට ලොව ප්‍රකට රටක් බවට පත් කිරීම ඔවුනගේ අභිලාශය විය.

මේ සඳහා ඔවුනට කදිම පුහුණුකරුවකු සොයාගත හැකි විය. ඒ මිරොස්ලාව් බ්ලැසෙවිච් ය. ඒ වන විට ද වසර 26 ක් පුහුණුකරුවකු ලෙස පළපුරුද්දක් ලබා සිටි හෙතෙම කිහිප විටක් දිනාමෝ සග්‍රෙබ් පිළ ද පුහුණු කළ අයෙකි. එමෙන්ම ප්‍රබල ක්‍රොඇට් දේශප්‍රේමියකු ද වූ ඔහු සිය කණ්ඩායම මනාව හැඩගස්වා ගැනීමට සමත් වූයේ ය.

1998 දී ක්‍රොයේෂියාව ලොවම පුදුම කරමින් ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය දිනාගත්තේ එම පන්නරයෙනි. ඩවෝර් ෂුකර් එවර වැඩිම ගෝල ලාභියාට හිමි රන් සපත්තුව ද දිනා ගත්තේ ය.

වසර 20 කට පසු ක්‍රොයේෂියාව පාපන්දු ලෝක කුසලානයක අවසන් තරගයට සුදුසුකම් ලබන අවධියේ ඩවෝර් ෂුකර් එරට පාපන්දු ෆෙඩරේශනයේ සභාපතිවරයා ය. එමෙන්ම එම කණ්ඩායමේ නායකයා වන ලූකා මොඩ්‍රිච් යුද්ධය නිසා නිවෙස් අතැර සරණාගතයකු සේ පළා යාමට සිදු වූ තැනැත්තෙකි.

සිළුමිණ
2018.07.15

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.