Header Ads

අධිකරණයට අපහාස කළ ‘ඥානසාර හිමි වසර 06 ක සිරදඬුවමට පෙර රෝහලේ’


අතුරුදහන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව අවසන් වීමෙන් පසු එම අධිකරණ ශාලාව තුළ කලහකාරී හා නොමනා ලෙස හැසිරීම මත අත්අඩංගුවට ගත් බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරදඬුවම වසර 6කින් ගෙවී යන ලෙස දඬුවම් නියෝග කර තිබේ.

ඥානසාර හිමියන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා 04ටම උන්වහන්සේ වරදකරු බව අභියාචනාධිකරණය දන්වා සිටි අතර වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය මෙසේ වසර 06කට දඬුවම් නියම කර බව ‘අකුණ’ අධිකරණ වාර්තාකරු පැවසීය.

මෙසේ නියෝග කර ඇත්තේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විසින් නඩුව අද (08) කැදවූ අවස්ථාවේදී ය.

ඥානසාර හිමියන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්දැයි විභාග කර ඒ පිළිබදව පියවරක් ගන්නා ලෙස ඉල්ලා එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කළ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මෙම පෙත්සම අභියාචනාධිකරණයට යොමු කර තිබේ.

2016 ජනවාරි 25 දින ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වීම සම්බන්ධ නඩුව විභාගයට ගනිද්දී භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කෑ ගසමින් සන්ධ්‍යා එක්නලිගොඩට තර්ජනාත්මකව සහ අසභ්‍ය අයුරින් බැන තිබේ.

ඥානසාර හිමිගෙන් අභියාචනයක්

බොදුබල සේන සංවිධානය මහලේකම්වරයාට එරෙහිව ලබාදුන් සය වසරක සිර දඩුවමට අදාළ තීන්දුවට උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටින නීතීඥ මනෝහරද සිල්වා අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

ඥානසාර හිමියන් වැලිකඩට යොමු නොකරන ලෙසට එමගින් නීතීඥවරයා ඉල්ලා සිට ඇතත් අභියාචනාධිකරණය විසින් අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි ‘අකුණ’ වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

ලබන 29 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කර තිබෙන්නේ.

දඬුවමට පෙර රෝහල

තමන්ට එරෙහිව නඩුවක තීන්දුවක් ප්‍රකාශය පත් කිරීමට පෙර බොදු බල සේනා සංවිධානයේ මහලේකම්වරයා 06 වනදා මධ්‍යම රාත්‍රීයේ ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙසේ උන්වහන්සේ ව රෝහල් ගත කර ඇත්තේ වකුගඩුවේ පවතින ගල ඉවත් කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකල යුතු නිසා බවයි වාර්තා වන්නේ.

එහෙත් උන්වහන්සේ බන්ධනාගාර රෝහලට මාරුකර යවන ලෙසට බන්දනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇතත් එයට ප්‍රතිචාර දක්වා නැත.

No comments

මෙම පුවත පිලිබඳ ඔබේ අදහසත් ලියන්න.

Powered by Blogger.